බයික් සිහින පෙන්වා මුදල් ගැරූ කිරිඳිවැල "බාග්‍ය බයික්" (ඡායාරූප)

Thursday, 18 July 2024 - 22:09

%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BD+%22%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%22+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කිරිඳිවැල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය යතුරුපැදි අලෙවි ආයතනයකින් සිදු වූ මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශය වෙත වාර්තා වුණා.

අදාළ ආයතනය "බාග්‍ය බයික්" නමින් කිරිඳිවැල ප්‍රදේශයේ වසර ගණනාවක සිට ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගොස් තිබුණේ ෆේස්බුක්, ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍යවල ආකර්ශණීය දැන්වීම් පළකරමින්.

ජපානය ඇතුළු විදෙස් රටවල නිෂ්පාදිත යතුරුපැදි රැසක් මෙම ආයතන‍යෙන් පළකරන දැන්වීම්වල ඇතුළත්ව ඇති අතර, එම එක් යතුරුපැදියක වටිනාකම ලෙස රුපියල් ලක්ෂ 10 - 23 අතර මිලක් සඳහන් කළ බව වංචාවට හසුවූ තරුණයින් සඳහන් කරනවා.

එම දැන්වීම්වලට ප්‍රතිචාර දක්වමින් රටපුරා තරුණයින් අදාළ ආයතනයෙන් යතුරුපැදි මිලට ගැනීමට සම්බන්ධ වී තිබූ බවද ඔවුන් පැවසුවා.

පසුව, එම ආයතනයෙන් තමන්ට කැමති යතුරුපැදියක් තෝරා ගැනීමටත්, ඒවා පරීක්ෂා කිරීමටත්, කෙටි දුරක් ධාවනය කරවීමටත් අවස්ථාව ලබාදෙන බවද තරුණයින් පිරිස සඳහන් කළා.

මේ අතර මෙම ආයතනය හරහා ලබාගන්නා යතුරුපැදි සඳහා ලීසිං පහසුකම් ලබා ගැනීමටත් අවශ්‍ය කටයුතු සිදුකර දෙන බවද පවසා ඇති මෙම ආයතනය, යතුරුපැදියක් වෙන්කරවා ගැනීමට අත්තිකාරමක් ඉල්ලා සිටින බවද හිරු ප්‍රවෘත්ති අංශය වෙත පැමිණි වංචාවට හසු වූ තරුණයින් සඳහන් කළා.

මෙහිදී සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් සඳහන් කළ වංචාවට හසු වූ තරුණයෙක්,

"මම බාග්‍යා එකේ ඇඩ් එකක් දැක්කේ ෆේස්බුක් එකෙන්. එයාලා දාලා තිබුණ වීඩියෝ කිහිපයක්ම දැකලා බයික් එකක් ගන්න මම එයාලට කතා කරා. එයාලා කිව්වා බයික් එකක් බලන්න කිරිඳිවැල එයාලගේ ආයතනයට එන්න කියලා. පස්සේ අපි එහෙට ගියා. මිල ගණන් වැඩි බයික් ගොඩාක් එයාලාගේ ශොප් එකේ තිබුණා. ඒවා මට පැදලා බලන්නත් දුන්නා.

ඒක කරගෙන ගියේ ජයතු භාග්‍ය කියලා කොල්ලෙක්. පස්සේ එයා මටයි මාත් එක්ක ගිය මගේ අයියාටයි කිව්වා, "මේ බයික් එක ලක්ෂ 23ක් වෙනවා, මේකට ෆිනෑන්ස් එකකුත් දාලා දෙන්නම්, බයික් එක වෙන් කරගන්න නම් ඇඩ්වාන්ස් එකක් දීලා යන්න, ඉතුරු වැඩටික අපි කරලා දෙන්නම්, හරියටම බයික් එක සතියකින් ඔයාගේ අතේ" කියලා.

ඊට පස්සේ අපි අරන් ගිය ලක්ෂ 08ක් ඒ වෙලාවෙම අපි ගෙව්වා. ඒකට රිසිට් එකකුත් අපිට දුන්නා. ඊටපස්සේ මට නිතරම වගේ වත්සැප් මැසේජ් එහෙමත් එව්වා. ඉක්මනට බයික් එකේ ලියකියවිලි වැඩ ටික කරලා බයික් එක දෙන්නම් කියලා තමයි මට එව්වේ. ඒත් සති දෙකක් විතර ගියත් මොනාහරි කිය කිය මග අරින්න පටන් ගත්තා."

මේ ආකාරයටම අප ප්‍රවෘත්ති අංශයට පැමිණි තරුණයින් කිහිප දෙනෙකුටම එකම ආකාරයට වංචාව සිදු කර තිබූ බවයි අප වෙත සඳහන් කළේ.

ඇතැම් තරුණයින්ට යතුරුපැදි ලබා දුන්නත් ඒවා අබලන් තත්ත්වයෙන් සහ ඇතැම් යතුරු පැදි පාවිච්චි කළ නොහැකි පරිදි යතුරු පැදි කොටස් අක්‍රීයව පැවති බවද ඔවුන් සඳහන් කළා.

මේ අතරවාරයේ මෙම ආයතනය සිදුකරගෙන ගිය ජයතු භාග්‍ය නම් පුද්ගලයා ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබුණේ පසුගිය ජූලි 02වනදායි.

මියයාමට පෙර දිනයේත් ඔහු තරුණයින්ට දන්වා තිබුණේද මෙම සතිය තුළ මුදල් හෝ යතුරු පැදි ලබා දීමට කටයුතු කරන බවයි.

මෙම සිද්ධිය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කිරිඳිවැල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ විමසීමක දී සඳහන් කළේ, එවැනි වංචාවක් පිළිබඳව කිරිඳිවැල පොලිසියට පැමිණිලි 12ක් ලැබී තිබෙන බවත් ඔවුන්ට පැමිණිලි පිටපත් සමග සිවිල් අධිකරණයේ නඩු පැවරීමට හැකියාව පවතින බවත් ය.

එමෙන්ම මෙම ආයතනය රජයේ ලියාපදිංචි නොකර පවත්වාගෙන ගොස් ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

මේ අතර බාග්‍ය බයික් ආයතනයේ හිමිකරු මියයන විටත් ආයතනය තුළ තිබූ යතුරුපැදි සියල්ල මේවන විට අතුරුදන්ව ඇති බවත් එම ආයතනයේ ගණුදෙනු කටයුතු සිදුකළ හිමිකරුගේ බිරිඳ සහ සහෝදරයෙකු යැයි සඳහන් කළ පුද්ගලයාත් ඔවුන් ජීවත් වූ කිරිඳිවැල ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් වංචාවට හසු වූ තරුණයින් සඳහන් කළා.

එමෙන්ම අදාළ ආයතනය මේවන විට වසා දමා ඇති බවද එම තරුණයින් පැවසුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories