General09 October 2024

ගත වූ සතියේ ඔන්ලයින් වංචා ගැන පැමිණිලි 230ක්

අන්තර්ජාලය හරහා සිදුකරන මුදල් ජාවාරම් සම්බන්ධයෙන් මේ මාසයේ ගත වු දින කිහිපය තුළ පමණක් පැමිණිලි 230කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබී තිබෙනවා.

අන්තර්ජාල ගිණුම්වල ආරක්ෂාව වෙනුවෙන් බැංකු මගින් නිකුත් කරන උපදෙස් නොතැකීම නිසා එවැනි විවිධ ජාවාරම්වලට ඔවුන් හසුව තිබෙනවා.

මේ අතර එවැනි ජාවාරමකට සම්බන්ධබවට සැකකරන චීන ජාතිකයින් ඇතුළු විදේශකයින් පිරිසක් අද පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ නිලධාරින්ගෙන් ලද තොරතුරකට අනුව පානදුර ගොරකාන ප්‍රදේශයේ පිහිටි හෝටලයක ලැගුම් ගෙන සිටි චීන ජාතිකයින් 20 දෙනෙකු පානදුර උතුර පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත්තා.

ඔවුන් එම හෝටලය මාසිකව ලක්ෂ විස්සක කුලී පදනම මත ලබාගෙන තිබුණා.

එම පුද්ගලයින් සතුව තිබූ ලැප්ටොප් පරිගණක 05ක්, ජංගම දුරකථන 437ක් , තරාදියක්, USB කේබල් 332ක්, USB වයර් 21ක් ජංගම දුරකථන චාජර් 133ක්, රවුටර් 17ක් ඇතුළු තවත් සන්නිවේදන උපාංග කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අදාළ චීන ජාතිකයින් පිරිස එම ලැගුම්හලේ නවාතැන් ගෙන අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය ජාවාරම් සිදුකරගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක් මගින් සිදුකෙරෙනවා.

මේ අතර අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන මූල්‍ය ජාවාරම් සම්බන්ධ පැමිණිලි ලැබීම ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ

එලෙස ලැබුණු පැමිණිලිවලට අනුව අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කිරීමේ චෝදනා මත විදෙස් ජාතිකයින් 40 දෙනෙකු පොලිසිය මගින් පසුගිය 16 වැනිදා ගම්පහ ප්‍රදේශයේ හෝටලයකදී සහ හංවැල්ලේ පෞද්ගලික ආයතනයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත්තා.

එම සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 499ක්, ලැප්ටොප් පරිගණක 25ක් සහ ඩෙස්ක්ටොප් පරිගණක 29ක් ද පොලිස් භාරයට ගැනුණා.

එමෙන්ම, තවත් චීන ජාතිකයින් 19 දෙනෙකු පසුගිය 06 වැනිදා නාවල ප්‍රදේශයේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අත්අඩංගුවට පත් වුණේ අන්තර්ජාල මූල්‍ය වංචා සම්බන්ධවයි.

අන්තර්ජාල බැංකු කටයුතුවලදි ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි වශයෙන් අවධානය යොමු නොකිරීම මෙම ගැටලුවට ප්‍රධානතම හේතුව වී තිබෙනවා.

අදාළ ගනුදෙනුවලදී OTP හෙවත්, රහස් අංකයක් අදාළ ගිනුමේ පරිශීලකයා වෙත ලැබීමට සලස්වනවා.

නමුත් එම OTP ආරක්ෂණ මුරපදය කෙරෙහි නිසි අවධානයක් යොමු නොකරන ඇතැමුන් එම රහස් අංකය වෙනත් පුද්ගලයින් වෙත යොමු කිරීම හරහා ඔවුන් මෙම ජාවාරම්කරුවන්ට හසුවීමේ වැඩි අවදානමක් පවතිනවා.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ විවිධ පුද්ගලයින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය යොදාගනිමින් මෙම ජාවාරම සිදුකරගෙන යන බවයි.

ඇතැම් අවස්ථාවන්වලදි බැංකු නියෝජිතයින් ලෙස පවා පෙනී සිටිමින් ඇතැම් පුද්ගලයින් කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් දෙමින් ගිණුම් හිමියන් නොමග යවන බවට ද පැමිණිලි ලැබී තිබෙනවා

එවැනි අන්තර් ජාල මූල්‍ය ජාවාරම සම්බන්ධ ආසන්නතම සිදුවීමක් පසුගිය සතියේදි වාර්තාවුණා

ඒ මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබාදෙන බව පවසමින් කළ වංචාවක්

ඒවැනි අන්තර්ජාල මූල්‍ය වංචාවලට හසුවු ඇතැම් පුද්ගලයින්ගේ ගිණුම්වලින් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගෙන ඇති බවට ද මේ වන විට අනාවරණ වී තිබෙනවා.
Related Recommends
Hiru TV News | Programmes