විපක්ෂ සහ ස්වාධීන මන්ත්‍රීවරු ආණ්ඩුවට එකතුවෙන්න ආසාවෙන් ඉන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා. විපක්ෂයේ අඩුපාඩු හා නොහැකියාව වසා ගන්න ආණ්ඩුවට විරුද්ධ විවිධ අදහස් සමාජගත කරන බවයි ඔහු පවසන්නේ.
මේ අතර කා සමගවත් ආණ්ඩුවේ ඩීල් නැතැයි කියමින් මෙවර හිරු වෙබ් පිටුවේ දේශපාලන කතිකාවට පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩ් අදහස් දක්වනවා.
පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ අපේක්ෂිත ප්‍රතිඵලය ලැබුණද ?
ඇත්තම කීවොත් අපේක්ෂිත ප්‍රතිඵලය ලැබිලා තිබෙනවා. නමුත් අපි මේ ප්‍රතිඵලය සංසන්දනය කළ යුත්තේ ජනපතිවරණය හෝ මහ මැතිවරණය සමග නොවෙයි. ජනපතිවරණයේදී පක්ෂයට එක අපේක්ෂකයයි. මහමැතිවරණයේදී දිස්ත්‍රික්කයකට කිහිප දෙනෙක්. මේ මැතිවරණයේ කොට්ඨාසයකට කිහිපදෙනෙක් වශයෙන් එක ප්‍රාදේශීය සභාවකට 45ක් 50ක් වගේ අපේක්ෂකයින් ඉන්නවා. එතකොට මේ ඡන්දය වෙනස්. නමුත් බහුතරය ජාතික ජනබලවේගය ජයග්‍රහනය කරලා තිබෙන්නෙ. පළාත් පාලන මැතිවරණයක් මීට පෙර 2018 තිබ්බා. ඒකෙදි පොහොට්ටුව ජයග්‍රහනය කළා. ඒත් එක්ක මෙවර ජාතික ජනබලවේගය ඊට වඩා ජයග්‍රහනයක් ලබලා තියෙනවා. ඒක් විශිෂ්ටයි.
විපක්ෂය කියන විදිහට මේ ප්‍රතිඵලය ආණ්ඩුවේ පසුබෑමක් නෙවේද ?
කොහෙත්ම නෑ. පසුබෑමක් කොහොමත් නෑ. ඒ අය අලුත් කතාවක් හදනවා. හෙට පුලුවන්නම් පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බොත් කියන අයට බලන්න පුලුවන්. එවැනි විපක්ෂ අය බලන්නේ මහජනතාව අතර යම් කියවීමක් ඇතිකරන්න. විපක්ෂය ලබපු ප්‍රමාණය ඔවුන් කියන්නෑ. ඉලක්කම පොඩියිනේ. ඒක නොකියා ආණ්ඩුවේ අඩුවක් පෙන්වන්න හදනවා. ඇත්තටම ආණ්ඩුවේ ගොඩ වැඩි බව එයාලා දන්නවා. විපක්ෂයේ පරාජය තවත් ඔප්පු වෙනවා කළින් මැතිවරණ දෙක සංසන්දනය කරගත්තානම්. මේ ඡන්දයේදි ගමේම අපේක්ෂකයන් වැඩි වෙද්දි ඡන්ද බෙදෙනවා ඒක ක්‍රමයේ හැටි.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න සල්ලි දෙනවා සහ ඩීල් දාන බවට චෝදනාවකුත් කරනවා නේද?
ආණ්ඩුවේ අපට කා එක්කවත් ඩීල් එකක් නෑ. අපිට තියෙන්නෙ වැඩ කරන්න. ඒකට ආණ්ඩුවට ලොකු වැඩපිළිවෙළක් තියෙනවා. දැන් මැතිවරණ ඉවරයි නැවත කාලෙකට ඡන්ද නැතිවෙයි. ඒ නිසා දිගටම ආණ්ඩුව වැඩකරනවා. විපක්ෂ සහ ස්වාධීන මන්ත්‍රීවරු ආණ්ඩුවට එකතුවෙන්න ආසාවෙන් ඉන්නේ කියලා දන්නවා. සමහරු එවැනි කතාවක් කියාගෙන යනවා. විපක්ෂය කරපු කියපු විදියට තමා අපි දිහා බලන්නේ. එයාල හිතන්නේ ආණ්ඩුවත් එයාලා වගේ කියලා.
කොළඹ නගර සභාවේ බලය පිහිටුවන්න විපක්ෂය ඉක්මන් වෙන බවක් පේනවා ?
එතන විපක්ෂය කියන්නේ කාටද කියන එකත් ගැටලුවක් පක්ෂ කීයක්ද, කොහොමද විපක්ෂය තෝරන්නේ. විවිධ මත විවිධ අදහස් තියෙන පක්ෂ ගොඩකට විපක්ෂය කියන්න බෑ. ජාතික ජනබලවේගය මන්ත්‍රී ධුර 48ක් දිනලා තියෙනවා. නමුත් බහුතරය නෑ හැබැයි ඉතින් බලය පිහිටුවන්නේ අපි.
ආණ්ඩුව ඡන්ද තුනක් දිනලා ඉවරයි. තවත් බලය ඉල්ලන්න දෙයක් නෑ. ගමේ මිනිස්සු කියන්නෙ ආණ්ඩුවට මාස 7ක් වෙලත් කාණුවක් බෝක්කුවක් හදලා නෑ කියලනේ ?
ගමේ වැඩ සහ ආයෝජන සැලසුම් කරලා තියෙන්නේ. සමහර ටෙන්ඩර් පවා කැඳවලා ඉවරයි.ඡන්දය නිසයි ප්‍රමාද වුණේ. ගමේ සංවර්ධන වැඩ දැන් දිගටම කෙරෙනවා. ඒ වෙනුවෙන් වෙන්කළ මුදල් මේ වසර තුළ යොදවලා නියමිත කටයුතු කරන්නයි සූදානම් වෙන්නේ.
ආණ්ඩුවට විදේශ සබඳතා නෑ කියලයි බොහෝ පිරිසක් කීවේ. නමුත් ජනපතිවරයා වියට්නාම් සංචායකත් නිරත වුණා. ?
විපක්ෂය එහෙම කතාවකුත් හැදුවා. නමුත් ජනාධිපතිවරයා වියට්නාමයට පෙර ඩුබායි සහ ඉන්දියාවේ සංචාරය කළා. ඒවායෙන් රටට ආර්ථික වශයෙන් ලාභ ලැබෙයි. විදෙස් සබඳතා නෑ කියපු අයට මේවා දකිද්දි අමාරුයි. ජනාධිපති වියට්නාමයට ගියේ එරට ආරාධනයකටයි. ඒ රටේ පැවති ලෝක බෞද්ධ සමුළුවට සහභාගී වෙන්න ආරාධනය කළේ. ඒ අතරේ මෙරටට ආයෝජන ගේන්නත් අවශ්‍ය ඵසුබිම හදලා තියෙනවා.
විල්පත්තුව අභයභූමිය මැදින් පාරක් හදන්න යන වැඩේට පරිසර නියෝජ්‍ය ඇමතිවරයාගේ මැදිහත්වීම කොහොමද?
මන්නාරම ජනතාව සහ මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා වගේම පුත්තලම ජනතාවගෙන් විශාල වශයෙන් ඉල්ලීම් ලැබී තියෙනවා මේ ගැන. ඔවුන් කියන්නේ මේ මාර්ගය විවර කරලා දෙන්න කියලා. මේක වසර කිහිපයකට කළින් තිබුණු පාරක් අලුතින් හදන එකක් නොවෙයි. ගංවතුර සහ විවිධ තත්ත්ව මත පැවති මාර්ගය භාවිතය නැතිවුණා. දැන් ජනතාවගේ ඉල්ලීම සලකලා පාරිසරික තත්ත්ව සොයා බලලා අවශ්‍යතාව මත කටයුතු කරන්න උත්සාහ ගන්නවා.
මන්නාරමේ තෙල් සහ ගෑස් හාරන්න යන කතාව නැවත කරළියට ඇවිත් තිබෙනවා. මොකද හිතන්නේ ?
ඒක වෙනත් අමාත්‍යාංශයකට අයිති කතාවක්. නමුත් මම වර්තීය භූ විද්‍යාඥයෙක් විදියට කියනවනම් මීට වසර කිහිපයකට කළින් ඔය කැනීම් සිදුකළා ළිං පහක් පමණ කැනීම් කරලා ඉන් දෙකක ගෑස් තිබෙන බව අනාවරණය කරගත්තා. දැන් තියෙන්නේ මේක ප්‍රයෝජනයට ගන්නේ කොහොමද? යම් සමාගමක් එක්ක එකතුවෙලා කටයුතු කරනවද ? යන වියදමත් එක්ක ලාභ අලාභ කොහොමද ? ජනතාවට මේ වාසිය දෙන්නේ කොහොමද කියන දේ සොයා බැලීමක්. ගෑස් තිබෙන ගැඹුරත් සමග වියදම ගැන බලන ගමන් එවැනි කාරණා ගොඩක් ගැන බලන්න වෙනවා.
රැකියා විරහිත තරුණ සහ උපාධිධාරීන් වෙනුවෙන් වැඩපිළිවෙලක් තියෙනවද ?
අයවැය සමග අපි කීවා උපාධිධාරීන් 30,000කට රැකියා දෙනවා කියලා. නමුත් තොග පිටින් දෙන්නෑ. පොඩි ප්‍රමාණවලින් අවශ්‍යතාව මත බඳවා ගන්නවා. දේශපාලන හෝ කිසි සම්බන්ධයක් ඒකට නෑ.සුදුසුකම මතයි දෙන්නේ. මේ මාසේ ඉඳලාම ඒ බඳවා ගැනීම් කෙරෙනවා.
පාර්ලිමේන්තුවේ වගේම පිටදිත් අමුතු චරිතයක් වුණු අර්චුනා මන්ත්‍රීවරයා ගැන කොහොමද දකින්නේ ?
මිනිස්සු විවිධයිනේ. සමහරු උගත්කමෙන් වැඩ ගන්නවා. උදවු කරනවා. සමහරු ප්‍රසිද්ධ වෙන්න ආසයි. මොනවා හරි කියලා කරලා තත්පර ගානක් හරි රූපවාහිනියේ ඉන්නත් සමහරු කැමතියි. ඒ විදියට හිතාගෙන පාර්ලිමේන්තු එන අයත් ඉන්නවා. ඒ අය නිවුස් ඇක්ටර්ස්ලා. ඇතැමුන් කැපී පේන්න කැමතියි. සමහරු විවේචනය විතරක්ම කරනවා හොඳක් දකින්නේ නෑ. කරන වැඩක් කර න්න නොදී කකුලෙන් අදිනවා. කෑකෝ ගහනවා. මේ ප්‍රශ්නයට උත්තරයත් ඒ වගේ.
විදුලි බිල ගැන නැවත කතාකරන්නේ ගාන වැඩිකරන සැලසුමකටද ?
විදුලි බිල අඩුවැඩි කෙරෙන්නේ මාස හයකට වතාවක් වන මිල ගැලපුම සමගයි. ඒ හැර වෙන හේතු නෑ. ආණ්ඩුවේ ස්ථාවරයනම් මිල පවතින ස්ථාවරයේම තබා ගැනීමයි.
Follow US







Most Viewed Stories