කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 21කට ආසන්න මුදලක් කොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙලම්බඩ පොලිසිය පවසනවා.
රත්‍රං කිලෝ 5.5ක ප්‍රමාණයක් රුපියල් කෝටි 28ක මුදලකට ලබාදෙන බව පවසා මෙම කොල්ලය සිදුකර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
එංගලන්තයේ පදිංචි බව කියන පුද්ගලයකු හරහා මාස ගණනාවක් පුරා මෙම රන් ගනුදෙනුව සාකච්ඡා කර තිබෙනවා.
ඒ අතර කාලයේදී එම රන් තොගයේ බව කියමින් නිදර්ශකයක් ලෙස යම් ප්‍රමාණයක් පෙන්වා තිබෙන බවද වාර්තා වනවා.
අනතුරුව පසු ගිය දිනෙක 07 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙම ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ ඇත්තේ ගනුදෙනුව සිදුකිරීමටයි.
ඔවුන් රන් තොගය මාළු ලොරියක සඟවා රැගෙන එන බවත් එම ගනුදෙනුව සිදුකරන අවසථාවේ ව්‍යාපාරිකයා හා ඔහුගේ වැඩිමහල් පුතා පමණක් සිටීම ප්‍රමාණවත් බවත් පවසා තිබෙනවා.
එහිදී පැමිණි පිරිසෙන් සිව් දෙනෙකු සමග ව්‍යාපාරිකයා ඔහු සතු වෙනත් නිවසකට ගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනූව අදාල මොහොතේ නිවෙසේ රැඳී සිට තිබෙන්නේ පිය පුතු දෙපල පමණයි.
එම අවස්ථාවේ පැමිණි පිරිස ව්‍යාපාරිකයාගේ සහ ඔහුගේ පුතාගේ අත්පා ප්ලාස්ටර්වලින් බැඳ කාමරවලට දමා පහර දී ඔවුන් සතුව තිබූ මුදල් ලබාගෙන තිබෙනවා.
එහිදී මුදල් තොගය දමා තිබූ බෑග්වලින් ඉවත් කර වෙනත් බෑග්වලට දමාගෙන එම සිව් දෙනා වාහනයකින් පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර ව්‍යාපාරිකයා හා පුතා බැඳ තිබූ ප්ලාස්ටර් ගලවාගෙන මේ බව තම ඥාතීන්ට හා හිතවතුන්ට දන්වා ඇති බව පැවසෙනවා.
ඒ සමග කලින් නිවසේ සිටි තිදෙනා අල්ලාගෙන මේ බව පොලිසියට දන්වා තිබෙනවා.
මෙම තිදෙනාගෙන් එක් අයකු එංගලන්තයේ සිටින අයගේ මස්සිනා කෙනෙකු වන අතර ඔහු කොළඹ රාගම ප්‍රදේශයේ අයෙක්.
ඔහු පැමිණි වැගන් ආර්. වාහනය ද පොලිස් භාරයට ගෙන ඇති අතර මහනුවර පල්ලේකැලේ හා පොල්ගස්ඕවිට ප්‍රදේශයෙන් පැමිණි අනෙකුත් දෙදෙනා ඔවුන් පැමිණි ත්‍රී රෝද රථයද සමඟ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිසිය මගින් මෙම ව්‍යාපාරිකයාට මෙතරම් විශාල මුදලක් ලැබීම පිළිබඳව පරීක්ෂණ පවත්වනවා.
මෙහිදී ව්‍යාපාරිකයා වන සේගු ඩාවුඩ් අබ්දුල් රසාක් සඳහන් කර ඇත්තේ පුද්ගලික බැංකුවක හිතවතුරකුගෙන් රුපියල් කෝටි 15ක් සහ මාවනැල්ල රන් භාණ්ඩ ආයතනයක හිමිකරුවකුගෙන් රුපියල් ලක්ෂ 100ක් ගත් බවයි.
එසේම තමා සතු රන් උකස් කර ලක්ෂ 70ක් හා තම සහෝදරයාගෙන් ලක්‍ෂ 50ක්ද පුතාගෙන් ලක්ෂ 10ක්ද තම ජීප්රිය උකස් තබා කෝටි 03ක් ද ලබා ගත් බව ඔහු පොලිසියට පවසා තිබෙනවා.
මංකොල්ලය සිදුවී පැයක් ප්‍රමාද වී ඒ පිළිබඳව පැමිණිලි කිරීම හා මුදල් බෑග් මාරු කිරීම පිළිබඳව සොයා බැලීම් ආරම්භ කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
මීට පෙර අදාල ව්‍යාපාරිකයාගේ නිවසේ මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බවත් ඔහුට ප්‍රධාන පෙලේ දේශපාලන හිතවත්කම් පවතින බවද වාර්තා වනවා. සිද්ධිය සම්බන්ධයෙන් වඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Follow US







Most Viewed Stories