රිසානා ගැන ජගත් සංවිධානයත් කණස්සල්ලෙන්.

Saturday, 12 January 2013 - 7:48

%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.

සෞදි අරාබියේ දී හිස් ගැසුම් කෑ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව රිසානා නෆීක් වෙනුවෙන් නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ දී ඊයේ (11) කණස්සල්ල පළ වුණා. එහිදී ජගත් සංවිධාන මහලේකම් බෑන් කී මූන් සහ ජගත් සංවිධාන ස්වාධීන විශේෂඥයන් මෙලෙස රිසානා වෙනුවෙන් අදහස් දැක්වූ බවයි වොෂින්ටන් වාර්තා සඳහන් කළේ.

 

මහලේකම්වරයාගේ ප්‍රකාශය ඔහුගේ ප්‍රකාශකයා විසින් මාධ්‍යයට ඉදිරිපත් කළ අතර, එහි දැක්වුණේ රිසානා නෆීක් රඳවා ගැනීම සහ ඇය වෙනුවෙන් පැවැත්වූ නඩු විභාගයේ දී පවා අක්‍රමිකතා සිදුව ඇති බවයි. සෞදි අරාබියේ මෙලෙස මරණ දඬුවම් ඉහළ යාම පිළිබදව ද මහලේකම්වරයා අවධානය යොමු කර තිබෙනවා. සෞදි අරාබියේ සිටින සංක්‍රමණික ජනතාව ඇතුළු සියල්ලන්ට සාධාරණ නඩු විභාගයකට පෙනී සිටීමේ අයිතිය ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය ක්‍රියාත්මක විය යුතු බව ද මහලේකම් බෑන් කී මූන් අවධාරණය කළා.

 

ජගත් සංවිධානයේ ස්වාධීන විද්වතුන් වෙනුවෙන් අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ රූපට් කොල්වින් කියා සිටියේ රිසානා නෆීක්ගේ නඩු විභාගයේ තීරණාත්මක අවස්ථාවන්හිදී ඇයට නීතිඥ සහාය නොලැබුණු බවයි. ඇයට කායික පීඩා පමුණුවා ඇති අතර, පාපොච්චාරණයකට බලහත්කාරයෙන් අත්සන් ලබාගෙන ඇති බව ද ඔහු චෝදනා කළා.

 



මේ අතර, ඊයේ (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල සදහන් කර සිටියේ විදේශගත වන ගෘහ සේවිකාවන් වෙනුවෙන් නව නීති පද්ධතියක් සකස් විය යුතු බවයි.

 
[MP3]s51275[/MP3]