අම්පාරේ අදත් දිවා භූ චලන. - යළි පරීක්ෂණ ඇරඹේ.

Friday, 25 January 2013 - 18:43

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%B7%E0%B7%96+%E0%B6%A0%E0%B6%BD%E0%B6%B1.+-+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.


අම්පාර දිස්ත්‍රික්කයේ විටින් විට ඇති වන භූ චලන විනාශකාරී භූ චලනයන් නොවන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා. එහි සභාපති ආචාර්ය එන්.පී. විජයානන්ද හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ අද (25) ඇති වූ භූ චලන සහ පසුගිය කාලය පුරාවට ඇති වූ භූ චලන සමග සංසන්දනය කරන විට එම තත්ත්වය යම්තාක්දුරට තහවුරු වන බවයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

[MP3]s52113_1[/MP3]

අද (25) උදෑසන අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය ආසන්න ප්‍රදේශයේ ස්ථාන 3කින් සුළු භූ චලන වාර්තා වුණා. එම භූ චලන අම්පාරේ සවි කර ඇති භූ කම්පන මානයේ ද සටහන් වී තිබෙනවා. අද (25) ඇති වූ භූ කම්පන තත්ත්වය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක්.   

[MP3]s52113_2[/MP3]

පසුගිය කාලයේ ද අම්පාර - වඩිනාගල - දේවාලහිඳ සහ පල්ලංගල ඇතුළු දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන කිහිපයකින් මෙවැනි භූ චලනයන් වාර්තා වුණා. අනතුරුව මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් එම ප්‍රදේශය වෙත පැමිණි අතර, භූ කම්පන මාන කිහිපයක් ද අදාළ ප්‍රදේශයේ සවි කිරීමටයි ඔවුන් පියවර ගත්තේ.

එම නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට මීට පෙර සඳහන් කළේ මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙවැනි භූ චලන සිදුවන බවට කරුණු අනාවරණය වී ඇති බවයි. පසුගිය කාලයේ එම ප්‍රදේශයට ඇද හැලූන වර්ෂාවත් සමග මෙම පරික්ෂණ තාවකාලිකව නතර කර එම කණ්ඩායම නැවතත් කොළඹට පැමිණියා. කෙසේ වෙතත්, ලබන සඳුදා සිට නැවතත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නියෝජිත කණ්ඩායමක් අම්පාර දිස්ත්‍රික්කයේ භූ චලන ඇති වූ ප්‍රදේශවල පරීක්ෂණ ආරම්භ කරනු ඇති.