ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 2500 ක් ශ්‍රී ලංකා මුහුදේ.

Friday, 08 February 2013 - 12:57

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+2500+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A.


ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් මුහුදු තීරයේ මසුන් මැරීමේ නිරත වූ බව කියන ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂකයන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රනිල් පුතා නමැති ධීවර යාත්‍රාව සහ ධීවරයන් එහි තිබූ කිලෝග්‍රෑම් 100 ක් පමණ මත්ස්‍ය අස්වැන්න ද සමගයි බදාදා අත්අඩංගුවට ගෙන ඇත්තේ. ආන්ද්‍රා ප්‍රදේශ්හි ක්‍රිෂ්ණපට්නම්වලට ඔබ්බෙන් වූ මුහුදේ මොවුන් මසුන් මැරීමේ නිරත වූ බව ඉන්දීය වෙරළාරක්ෂකයන් පවසා තිබෙනවා.  මේ වසරේ ජනවාරියේ සිට ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 5 ක් සහ ධීවරයන් 26 දෙනෙකු ඉන්දියාවේ නැගෙනහිර වෙරළාරක්ෂක යාත්‍රා මගින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මේ අතර, පෝක් සමුද්‍ර සන්ධියේ - කන්‍යාකුමාරි තුඩුව ආසන්නයේදී යාත්‍රාව අනතුරට ලක්වීමෙන් දින ගණනක් නිරාහාරව මුහුදේ රැදී සිටියදී ශ්‍රී ලාංකික ධීවරයින් විසින් බේරා ගත් ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු ඊයේ (07) නැවතත් තමිල්නාඩුව වෙත ගොස් තිබෙනවා. පසුගිය ජනවාරි 31 වැනිදා අනතුරට ලක්වූ ඔවුන්ගේ යාත්‍රාව ශ්‍රී ලාංකික ධීවරයින් විසින් බේරාගෙන ඇත්තේ පසුගිය පෙබරවාරි 3 වැනිදායි. පසුව, මීගමුව වෙත රැගෙන ආ මෙම ධීවරයන්ට ප්‍රතිකාර ලබාදීමෙන් පසුව නැවත ඉන්දියාව බලා ගොස් ඇත්තේ ගුවනින්. ඔවුන් ඊයේ (07) මදුරෙයි ගුවන්තොටුපල වෙත පැමිණි බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා. මෙම යාත්‍රාවේ සිටි එක් ඉන්දීය ධීවරයෙකු ඔවුන් බේරා ගැනීමට පෙර මියගොස් තිබෙනවා. ඉන්දීය ධීවරයන් පිරිස ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ සුහද සත්කාර මගින් තමන් දෙවැනි ජීවිතයක් ලැබූ බවයි.

මේ අතර, නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර පිහිටි ජාත්‍යන්තර සමුද්‍ර පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ මාර්ටන් බැවින්ක් මෙරට අධ්‍යයන චාරිකාවකින් පසු ප්‍රකාශ කළේ ඉන්දීය ටෝලර් යාත්‍රා උතුරුකරයේ ධීවර ජනජීවිතය අඩාල කරන ප්‍රධාන සාධකය බවයි. දකුණු ඉන්දියාවේ වරාය සහ තොටුපලවලින් නික්මෙන 5000 ක් පමණ වන ට්‍රෝලර් යාත්‍රාවලින් අඩක්ම මත්ස්‍ය සම්පතින් පොහොසත් ශ්‍රී ලංකාවේ මුහුදු තීරය ආක්‍රමණය කරන බව එම පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙනවා. මේ නිසා මෙරට උතුරුකරයේ පවුල් 20,000 ට අයත්, ලක්ෂයකට අධික ධීවර ජනප්‍රජාව දැඩි බලපෑමකට ලක්ව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. සාමාන්‍යයෙන් ධීවරයෙකු වසරකට දින 200 ක් පමණ මුහුදු යන අතර උතුරේ ධීවරයන්ගේ මුහුදු ගමන් දැන් දින 85කට පමණ සීමා වී ඇති බව ඔවුන් සඳහන් කළා.