ඉරාන යුධ නැව් ලංකා මුහුදේ.

Friday, 15 February 2013 - 8:36

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A.

ඉරාන නාවික හමුදාවට අයත් නෞකා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පසුගිය කාලයේ නැංගුරම් ලා තිබූ බව ඉරාන නාවික හමුදාපති හබිබුල්ලේ සයිරේ පවසනවා. එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව, සුඩානය, ලටාකියා, ජිබූටි යන රටවල මුහුදු සීමාවේ තම නෞකා නැංගුරම් ලා තිබූ බවයි. විශේෂයෙන් මෙම වසර තුළ ඉන්දියානු සාගරය, රතු මුහුද ඇතුළු ගල්ෆ් මුහුදු තීරයේ සිය නෞකා රඳවා තැබීමට බලාපොරොත්තු වන බවයි ඉරාන නාවික හමුදාපතිවරයා සඳහන් කර ඇත්තේ. ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් තම නෞකා නවතා තැබීම හා ඒවාට පහසුකම් සැපයීමට බාධා එල්ල කරන බව ඔහු අවධාරණය කරනවා. ඒ හේතුවෙන් අනෙකුත් රටවල සහයෙන් තම නෞකා ජාත්‍යන්තර මුහුදු තීරයේ සැරිසරන බවයි ඉරාන නාවික හමුදාපති හබිබුල්ලේ සයිරේ පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, තම නාවික හමුදාවට ලොව  ඕනෑම ආරක්ෂක අංශයක් සමග සටන් කිරීමේ හැකියාව පවතින බවද ඔහු තවදුරටත් පවසනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විමසිමක් කළා. එහි මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසළ වර්ණකුලසූරිය සඳහන් කළේ 2010 වසරේ පැවති නාවික හමුදා 60 වන සංවත්සරයෙන් පසු ඉරාන නාවික හමුදා නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට නොපැමිණි බවයි.

මේ අතර, අධිකරණ නියෝගයක් මත රඳවාගෙන තිබූ ඉරාන නෞකාවක් මෙරට නාවික හමුදාවේ අනතුරු ඇඟවීම් නොතකා පළාගිය පුවතක් පසුගිය මාසයේ වාර්තා වුණා. අමීනා නැමති මෙම නෞකාව හිමි සමාගම ජර්මන් බැංකුවකට ඩොලර් මිලියන ගණනක ණය පැහැර හැරීම හේතුවෙන් අදාළ මුදල ගෙවනතෙක් ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටත්වීම අත්හිටුවමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණා. එම නෞකාව අයත් සමාගම ඉරානයේ ප්‍රමුඛතම නැව් සමාගම වන අතර, එය ඇමරිකාවේ සහ යුරෝපා සංගමයේ සම්බාධකවලට ලක්වු සමාගමක්.