ඇමති පුතාගෙන් පහරකෑ නි. පොලිස්පතිවරයාගේ පුතා කොළඹට.

Monday, 25 February 2013 - 18:57

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%91+%E0%B6%B1%E0%B7%92.+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7.

අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයා ඇතුලූ පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ මඩකලපුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරගේ පුත් අසේල වෛද්‍යාලංකාර අද (25) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලක් වෙත මාරු කරනු ලැබුවා. අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයා ඇතුළු පිරිසක් මොහුට පහර දී තිබුණේ ඊයේ (24) පස්වරුවේදියි. සිද්ධියෙන් තුවාල ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත්‍රයා අනතුරුව මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා. පොලීසිය පැවසුවේ ඡායාරූප ගැනීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම පහරදීම සිදුව ඇති බවයි.

පහරකෑමට ලක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත්‍රයා ඔහුගේ බිරිද සහ තවත් යුවළක් සමග පාසිකුඩා වෙරළ තීරයේ සිරි නරඹමින් සිටි අවස්ථාවේදී අමාත්‍යවරයාගේ පුත්‍රයා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත්‍රයාගේ බිරිදගේ ඡායාරූප ගැනීමට උත්සාහ කර තිබෙනවා. ඊට විරෝධය පළ කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත්‍රයා විසින් එය නවත්වන ලෙස අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ. ඉන් අනතුරුවයි මෙම පහරදීම සිදුව ඇත්තේ. මඩකලපුව මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව පහරකෑමට ලක්වූ අසේල වෛද්‍යාලංකාර කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන එනු ලැබුවේ අද (25) පස්වරුවේදියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් කල්කුඩා පොලීසිය, පහරදුන් බවට චෝදනා එල්ල වන අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයා ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු ඊයේ (24) දිනයේදීම අත්අඩංගුවට ගත් බවයි. කෙසේ වෙතත්, ඔවුන් අද අලූයම පොලිස් ඇප මත මුදා හැර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියා.

එහෙත්, මානව හිමිකම් කොමිසම් සභාවේ කොමසාරිස් නීතිඥ ප්‍රතිභා මහානාම හේවා කියා සිටියේ මෙවැනි බරපතල සිදුවීමකදී පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගතව සිටින විට අත්අඩංගුවට පත්වූ පාර්ශවයට ඇප ලබාදීමට පොලීසියට හැකියාවක් නොමැති බවයි.

[MP3]s54111_1[/MP3]

පොළොන්නරුව වනජීවි කාර්යාලයකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරෙකු වන ප්‍රියන්ත සිරිසේන ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදියි. එහිදී අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී දැක්වූ අදහසයි මේ.

[MP3]s54111_2[/MP3]
 
කෙසේ වෙතත්, පුත්‍රයාට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අද (25) උදෑසන සිටම අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගෙන් කරුණු විමසීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වුණා. අනතුරුව චෝදනාව එල්ල වන අමාත්‍යවරයාගේ පුත් දහම් සිරිසේන ද දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වුණේ ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.