මානව හිමිකම් සැසිය මුලම ඇමරිකාවෙනුත් ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රකාශයක්.

Tuesday, 26 February 2013 - 19:07

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%B8+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇතැයි ඇමරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී අද ප්‍රකාශ කළා. ජාත්‍යන්තර සංවිධාන සහ සබඳතා පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් එස්තර් බ්‍රිමර් ජගත් මානව හිමිකම් කවුන්සිලය අමතමින් කියා සිටියේ එය කණගාටුදායක තත්ත්වයක් බවයි.

[MP3]s54175_2[/MP3]

කෙසේ වෙතත් ගැටුම්කාරී වාතාවරණය තුළ මියගිය, තුවාල ලැබූ සහ සිදුවූ දේපල හානි පිළිබඳ විද්‍යාත්මක සමික්ෂණයක් ලබන මාසයේ ආරම්භ කිරීමට රජය සූදානම් වනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ අනුව දීපව්‍යාප්තව එම සමීක්ෂණය සිදුකරන බවයි. මේ වනවිටත් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වූ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. එහි අධික්ෂණය යටතේ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයත් ජන සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව මෙම සමීක්ෂණය සිදුකරනු ඇති. 1983 වසරේ සිට 2009 වසරේ මැයි මාසය දක්වා පැවති යුද්ධය හේතුවෙන් මියගිය, තුවාල ලැබූ සහ සිදුවූ දේපල හානි පිළිබඳවයි එහිදී දත්ත එක් රැස් කෙරෙන්නේ.

මේ අතර චැනල් ෆෝ නාලිකාව විසින් සකස් කළ වීඩියෝ පටය ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රදර්ශනය කිරීම වළක්වන ලෙස ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ අදාළ ඉල්ලීම සිදුකරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම වීඩියෝ පටය කිසිසේත්ම නිරවද්‍යතාවය තහවුරු නොවූ වීඩියෝ පටයක් බවයි. චැනල් ෆෝ නාලිකාව සකස් කළ නෝ ෆයර් සෝන් නැමති මෙම වීඩියෝ පටය මාර්තු 1 වැනිදා ජිනීවා හිදී ප්‍රදර්ශනය වන බවට වාර්තා පළව තිබෙනවා. නිරවද්‍යතාවය තහවුරු නොවූ මෙවැනි වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කිරීම ජාත්‍යන්තර නීති උල්ලංගණය කිරීමක් බවයි ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ප්‍රකාශ කර ඇත්තේ.

මෙම ඉල්ලීම පිළිබඳව අද පැවති ජගත් සංවිධාන දෛනික මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්නකර තිබෙනවා. එහිදී ජගත් මහ ලේකම් බෑන් කී මූන් ගේ සහකාර මාධ්‍ය ප්‍රකාශක එඩුවාඩෝ ඩෙල්බුයි ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතු බවයි.

හියුමන් රයිට්ස් වොච් ආයතනයද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම වාර්තාවට නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් ඊයේ පිළිතුරු ලබා දුන්නා. අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට වද හිංසා පමුණුවා ආරක්ෂක අංශ තොරතුරු ලබාගත් බවට ඔවුන් වාර්තා පළකර තිබුණා. ඉන්දියාවේ සිටින හියුමන් රයිට්ස් වොච් ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ මිනක්ෂි ගංගුලි සඳහන් කර තිබුණේ අදාල තොරතුරු තහවුරු කිරීමට තමන් සතුව සිද්ධීන් 75 ක් පවතින බවයි.

කෙසේ වෙතත් මෙය කල්යල් බලා ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ චෝදනාවක් බව නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කරනවා. ඔහු සඳහන් කරන්නේ මෙම වාර්තාව මෙතෙක් කිසිදු ආකාරයකින් තහවුරු වී නොමැති බවයි. නිසි පරීක්ෂණයක් සහ අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වද හිංසා පමුණුවා තොරතුරු ලබාගත් බවට තහවුරු කළ නොහැකි බවද ඉන්දීය ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.