හමුදාව බාලචන්ද්‍රන් ඝාතනය කළේ නෑ. - ජනපති හින්දු පුවත්පතට කියයි.

Saturday, 02 March 2013 - 12:44

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ 12 හැවිරිදි පුත් බාලචන්ද්‍රන් යුද හමුදාව විසින් ඝාතනය කළ බවට එල්ල වන චෝදනා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරනවා. ජිනිවා නුවර ජගත් මානව හිමිකම් සමුළුවට සමගාමීව ඊයේ ප්‍රදර්ශනය කෙරුණු චැනල් ෆෝ නාලිකාව නිපද වූ නෝ ෆයර් සෝන් වීඩියෝ චිත්‍රපටය මගින් ද බාලචන්ද්‍රන් හමුදාව විසින් හුදෙකලාව ඝාතනය කළ බවට චෝදනාවක් එල්ල කළා. එහෙත් ඉන්දියාවේ හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ එවැන්නක් සිදුවුණේ නම් එය තමා දැන සිටිය යුතු බවයි. එය හමුදාවේ සාමාජිකයෙකු විසින් සිදුකරන ලද්දක් නම් එහි වගකීම ද භාරගැනීමට තමා සූදානම් බව ජනාධිපතිවරයා සදහන් කළා. එමෙන්ම බාලචන්ද්‍රන් සාහසික ලෙස ඝාතනය කළ බවට එල්ල කරන චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ. ඔහු තවදුරටත් කියා සිටියේ එය කිසිලෙසකින් හෝ සිදුවිය නොහැක්කක් බවයි.

 

යුද්ධයේදී ශ්‍රී ලංකාව අපරාධ සිදුකළ බවට සාක්ෂි ලෙස ජාත්‍යන්තර සංවිධාන සහ ඇතැම් මාධ්‍ය ආයතන මෙවැනි වීඩියෝ පට ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ වෘත්තීය ලෙසයි. එහෙත් අප හුදෙක් එක් කෝණයකින් පමණක් නොබැලිය යුතුයි. මෙරට විපක්ෂ කණ්ඩායම් වැනි එක් කණ්ඩායමකට පමණක් ඇහුම්කන් නොදිය යුතුයි. විපක්ෂ කණ්ඩායම් මෙරට අරාබි වසන්තයක් ඇති කිරීම සඳහා විදේශ රටවල සහාය අපේක්ෂා කරනවා. එහෙත් එය ශ්‍රී ලංකාවේ නම් සිදුනොවන්නක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හින්දු පුවත්පතට සඳහන් කළා.

 

සැප්තැම්බර් මාසයේ දී උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානම්. අනෙකුත් පළාත් සභා මැතිවරණ කල් දැමූවේ ද ඒ හේතුව නිසයි. උතුරු පළාතට ද අනෙකුත් පළාත් 8ට වඩා නොවැඩි සහ නොඅඩු බලතල හිමිවන බවත්, ජනාධිපතිවරයා කියා සිටියා. ඇමරිකාව විසින් ජිනිවා හිදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කරද්දී වසර 3කින් යුද්ධයෙන් විනාශයට පත් යාපනය නැවත ගොඩනැගූ ආකාරය සලකා බැලූවේ ද යන්න ජනාධිපතිවරයා ප්‍රශ්න කළා.

 

කාශ්මීර අර්බුදය හේතුවෙන් ඉන්දියාව ද ජගත් මානව හිිමිකම් කොමිසමේදී අපහසුතාවයට ලක්වුණා. ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තරයට වොලිබෝලයක් වී තිබෙනවා. සියල්ලන්ම තමන්ගේ පව් සෝදා ගැනීමට ඊට පහර එල්ල කරන බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. දේශපාලන විසදුමක් සඳහා දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවට පැමිණිය යුතුයි. එසේ නොමැතිව ඉන් ප්‍රගතියක් ලැබීම දුෂ්කරයි. මීට පෙර නායකත්වයෙන් ලබාදුන් විසදුම් සාර්ථක වූයේ නැහැ. 13 වන සංශෝධනය ද එවැන්නක්.   

 

ජිනිවා මානව හිමිකම් සමුළුවේ දී ඉන්දියාවේ සහාය ලබා ගැනීම සඳහා ඔවුන් සමග සාකච්ඡා පැවැත්වූයේ නැහැ. ඉන්දියාව අසල්වැසියෙකු සහ ශ්‍රී ලංකාවේ මිතුරෙකු වශයෙන් ඔවුන්ගේ වගකීම කුමක් ද යන්න වටහා ගනු ඇති. තමාට ඉන්දියාව වෙත විධානයන් සිදුකළ නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හින්දු පුවත්පත සමග පැවැති සාකච්ඡාවේදී අවධාරණය කළා.