අගවිනිසුරුවරුන්ට අදාළ පෙත්සම් විභාගය කල් යයි.

Tuesday, 05 March 2013 - 12:51

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


අගවිනිසුරුවරුන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (05) ඉදිරිපත් කෙරුණු අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන ජුනි 11 වන දා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ලේ සභාපතිනී  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන අද තීරණය කළා. ඒ, මෙම පෙත්සම් 6 සලකා බැලීම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී 9 දෙනෙකුගෙන් සැදුම් ලත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදියි. එම පෙත්සම් විභාග කිරීමට පත් කර තිබූ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුවක් හේතුවෙන් මෙම විභාගය කල් තබන බවත්, යළි ව්‍යවස්ථාපිතව විනිසුරු මඩුල්ල පත් කිරීම සඳහා අගවිනිසුරුවරයා වෙත අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන ප්‍රකාශ කළා. විනිසුරු මඩුල්ලට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් විශ්‍රාම යාමෙන් පසු අලූතින් පත් කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ශ්‍රීපවන් පෙත්සම් විභාගයට පෙනී සිටීමට අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමගයි එම ගැටළුව ඇති වුණේ.  

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය කළ තේරීම් කාරක සභාව පිළිබද ඉදිරිපත් කළ පෙත්සම් 4ක් සහ අගවිනිසුරු මොහාන් පීරිස්ගේ පත්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අයිතිවාසිකම් පෙත්සමක් ද අද (05) සලකා බැලීමට නියමිතව තිබුණා. මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා අගවිනිසුරු මොහාන් පීරිස් විසින් ඊයේ 9 දෙනෙකුගෙන් සැදුම් ගත් විනිසුරු මඩුල්ලක් පත් කළා. එහි සභාපතිනිය ලෙස පත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධනයි.

කෙසේ වෙතත්, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (05) මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, තමන් තවමත් මෙරට අගවිනිසුරු බව පවසමින්. එම නිසා අදාළ පෙත්සම්වලට තමන් මැදිහත් විය යුතු නැතැයි එම මෝසමෙන් ප්‍රකාශ කර ඇතැයි සදහන්. අද (05) විභාගයට ගැනීමට නියමිතව තිබූ පෙත්සම් 6 අතර නීතිඥ සුමුදු හේවගේ ඉදිරිපත් කර තිබූ පෙත්සමකට ඇය මැදිහත් විය යුතුව තිබුණා. එම පෙත්සමේ සදහන් වී ඇත්තේ හිටපු අග විනිසුරුවරිය ඉවත් කිරීමේ දෝෂාභියෝග ක්‍රියාවලියට පාර්ලිමේන්තු බලය පවතින බවයි.

මේ අතර,  අද (05) විභාගයට ගැනීමට නියමිතව තිබූ පෙත්සම් 6න් තවත් 4ක් ඉල්ලා අස් කර ගැනීමට ඒවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්.ඒ. සුමන්දිරන් ශ්‍රේඨාධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. එම පෙත්සම්වල සදහන් වන්නේ හිටපු අගවිනිසුරුවරිය ඉවත් කිරීමට පාදක වූ ස්ථාවර නියෝග නිත්‍යානුකූල නොමැති බවයි. එහෙත් ඒවා ඉල්ලා අස් කර ගැනීම ඊළග නඩු දිනයේ දී දැනුම් දෙන්නැයි 9 පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිනි ශිරාණි තිලකවර්ධන අද දැනුම් දුන්නා.

අද (05) විභාගයට ගැනීමට නියමිතව තිබූ අනෙක් පෙත්සම වන්නේ වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස්ගේ පත්වීම වැරදි සහගත බවට විකල්ප ප්‍රතිත්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සමයි. 
 
මීට පෙර මෙවැනි පුද්ගලයින් 9 දෙනෙකුගෙන් සැදුම් ලත් විනිශ්චකාර මඩුල්ලක් පත් කරනු ලැබුවේ 1987 වසරේ වන අතර ඒ 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද නැද්ද යන්න සලකා බැලීම සඳහායි.