එජාපයට මහ නායක හිමියන්ගෙන් අවවාද.

Wednesday, 06 March 2013 - 18:44

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF.

සුළු වැරදිවලට එක්සත් ජාතික පක්ෂයේ නිලධාරීන් පක්ෂයෙන් ඉවත් කළහොත් එම පක්ෂය තවදුරටත් පිරිහීමකට ලක්වනු ඇතැයි අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමියන් ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතැම් අවස්ථාවලදී දැඩි තීරණ ගන්නා අතර තවත් අවස්ථාවකදී කුඩා දරුවෙකු ලෙස ක්‍රියාකරන බවයි උන්වහන්සේ සඳහන් කළේ. මහ නාහිමියන් මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක අද දිනයේ උන් වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදියි.

රටේ මුල්ම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය මේ වනවිට පිරිහීමට ලක්ව ඇති බව ප්‍රකාශ කළ මහ නාහිමියන්, සමගියෙන් කටයුතු කළහොත් එක්සත් ජාතික පක්ෂයට අනාගතයේදී බලයට පැමිණීමේ හැකියාව ඇති බවද කියා සිටියා. උන්වහන්සේ මෙහිදී තවදුරටත් කියා සිටියේ ආණ්ඩුවේ දුර්වලතා පැවතියද කෙසේ හෝ ඉදිරියට යෑමට ඔවුන්ට හැකිවී ඇති බවයි.  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ඇති නමුත් ආණ්ඩු පක්ෂයේ අනෙකුත් සාමාජිකයන්ගේ සහයෝගය නොලැබෙන්නේ නම් එම කටයුතු සිදුකරගෙන යෑමේ හැකියාවක් නොමැති බවද උන්වහන්සේ සඳහන් කළා. විපක්ෂ නායකවරයාටද සිදුවී ඇත්තේ තම අදහස් ක්‍රිියාත්මක කිරීමට පක්ෂයේ අනෙකුත් සාමාජිකයින්ගේ සහය නොලැබීම බවයි අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් බැහැදුටුවේ මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුවයි. එහිදී දැනට පුරප්පාඩුව පවතින එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර පිළිබඳව ලබන 18 වැනිදා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බව පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක සඳහන් කළා.
 
[MP3]s54682[/MP3]