ඇමරිකාවේ යෝජනාව ගැන ශ්‍රී ලංකාව අධ්‍යයනයක.

Friday, 08 March 2013 - 13:16

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A.

ජිනීවා නුවර ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ඇමරිකාව විසින් ඊයේ (07) බෙදාහරින ලද ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පිළිබඳව අධ්‍යයනයක් සිදුකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් කරුණාතිලක අමුණුගම හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ එම අධ්‍යයනය දැන් සිදුකරමින් පවතින අතර, ඉන් පසුව ඒ පිළිබඳව ප්‍රතිචාරයක් දක්වන බවයි. මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවට පක්ෂපාතී වන්නේද යන්න ඉන්දියාව තීරණය කරනු ඇත්තේද මෙම යෝජනාවේ වගන්ති සලකා බැලීමෙන් අනතුරුවයි. එමෙන්ම, ඉන්දීය ලෝක් සභාවේදීද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ විවාදයක් පැවැත්වුණා. එහිදී ප්‍රකාශ වූ කරුණු පිළිබඳව තමන් අධ්‍යයනය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. එම විවාදයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප්‍රකාශ කරන ලෙස තමිල්නාඩුවේ ද්‍රවිඩ දේශපාලන පක්ෂ ඉන්දීය රජයෙන් ඉල්ලා තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් ප්‍රකාශ කළේ මෙරට සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලක් රජය ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. එය 27 වසරක් තිස්සේ මෙරට පැවති යුද්ධයේ සැබෑ අවසානය සලකුණු කරන බව ඔහු කියා සිටියා. එමෙන්ම, ඉන්දියාවට ශ්‍රී ලංකාවේ වැඩිමහල් සහෝදරයා හෝ පොලිස් නිලධාරියා වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් අවධාරණය කළේ.

මේ අතර, අතුරුදන්වූවන්ගේ උද්ඝෝෂණයක් සඳහා වව්නියාවේ සිට කොළඹ බලා පැමිණි කණ්ඩායමක් නතර කිරීම සම්බන්ධයෙන් ඊයේ (07) ජගත් සංවිධාන මූලස්ථානයේ දෛනික මාධ්‍ය හමුවේදීද සාකච්ජා කෙරුණා. මහ ලේකම්වරයාගේ ප්‍රකාශක මාටින් නෙසර්කී එහිදී කියා සිටියේ  ඕනෑම පුද්ගලයෙකුට ජගත් සංවිධානය වෙත තොරතුරු ලබාදීමට අවශ්‍ය නම් ඒ සඳහා කොළඹ පිහිටි ජගත් සංවිධාන කාර්යාලය වෙත පැමිණීම අත්‍යවශ්‍ය නොවන බවයි. එම තොරතුරු ලබාදීමේ වෙනත් ක්‍රමවේදයන් ඇති බවත්, ඔහු සඳහන් කළා.