කෝටියේ කොල්ලයේ සැකකරුවන් 3 ක් රට පැනලා.

Sunday, 10 March 2013 - 12:58

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%BD%E0%B7%8F.

කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් රුපියල් කෝටියක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටින ප්‍රධාන පෙලේ සැකකරුවෙකු ඇතුළු තවත් දෙදෙනෙකු මේ වනවිට විදේශගතව ඇතැයි අනාවරණය වී තිබෙනවා. පසුගිය පෙබරවාරි 12 වැනිදා සිදුවූ මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනෙකු පෙරේදා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ සිදුකළ දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුවයි. එම සැකකරුවන් අතර පොලිස් නිලධාරීන් තිදෙනෙකුද වනවා. ඉන් දෙදෙනෙකු කොළඹ - කොටුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් වන අතර එක් අයෙක් ඇමති ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටින අයෙකු බවයි හෙළිවුණේ.

 

ඇමති ආරක්ෂක අංශයේ සේවය කරන පොලිස් නිලධාරියා මීට මාසයකට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කර පසුව ඇමති ආරක්ෂක අංශය වෙත මාරුවීම් ලබා ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාශ අංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.

 

සිද්ධියට සම්බන්ධ බවට සැකකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන තවත් පොලිස් කොස්තාපල්වරයෙකු සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කොල්ලකෑම සඳහා යොදාගත් ඩිෆෙන්ඩර් රථයද ඊයේ පොලිස් භාරයට ගනු ලැබුවේ තිඹිරිගස්යාය ප්‍රදේශයේ නිවසක තිබියදියි. කොල්ලකෑ මුදලින් ලක්ෂ 16 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සොයාගෙන ඇති අතර ඒ සඳහා යොදාගත් ගිනි අවි සොයාගැනීම සඳහාද පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, කොළඹ නියෝජ්‍ය පොලිස්පති ඞී.ඒ.ඞී.එස් ගුණවර්ධන, අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ආර්.එල්. රණවීර සහ එහි ස්ථානාධිපති හේමන්ත දික් ඕවිටගේ මෙහෙයවීම යටතේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.