නිහඬ ඇයි ? - ජවිපෙ ආණ්ඩුවෙන් විමසයි.

Sunday, 10 March 2013 - 18:55

%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%AC+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92.

ජිනිවා මානව හිමිකම් සමුළුවේ කටයුතු ආරම්භවීමත් සමග ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව තුළ විරෝධතා රැල්ලක් මතු වුණා. තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ. හිතවාදී දේශපාලන පක්ෂ එරට මධ්‍යම රජයට බලපෑම් කරමින් සිටින්නේ ජිනිවා හිදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ගෙන එන යෝජනාවට සහාය පළ කරන ලෙසයි. ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙතෙක් පැහැදිලි ප්‍රකාශයක් සිදු නොකිරීම පිළිබඳව තමන් කණස්සල්ලට පත්වන බව තමිල්නාඩු ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තුවේල් කරුණානිධි ද ඊයේ (09) ප්‍රකාශ කර තිබුණා.

මේ අතර, ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන්ට ඉන්දියාවේ පුහුණුව ලබාදීම පිළිබදව එරට නාවික කටයුතු පිළිබද අමාත්‍ය ජී.කේ. වාසන් විරෝධය පළ කර තිබෙනවා. මෙරට ආරක්ෂක අංශ  සාමාජිකයන් දෙදෙනෙකු පිළිබද සදහන් කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ යළි ඔවුන් ශ්‍රී ලංකාවට එවීමට පියවර ගත යුතු බවයි. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ඒ.කේ. ඇන්තනි කඩිනමින් හමුවීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දීය රජය පසුගිය දා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන්ට පුහුණුව ලබාදීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. කෙසේ වෙතත්, ජී.කේ. වාසන් එම තීරණයට එරෙහි ප්‍රකාශයක් සිදුකළ පළමු ඉන්දීය කොංග්‍රස් අමාත්‍යවරයා ලෙස සැලකිය හැකියි.

මේ අතර, කොළඹ අද (10) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද ජිනිවා මානව හිමිකම් සමුළුව පිළිබද අදහස් පළ කර සිටියා. ඔහු සඳහන් කළේ ආණ්ඩුව මානව හිමිකම් සමුළුවේදී එකඟතාවයකට පැමිණීමට උත්සාහ කරන බවයි.

[MP3]s54954_1[/MP3]

කෙසේ වෙතත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ ද මතවාදීමය වශයෙන් තවමත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජිනිවා මානව හිමිකම් සමුළුව තුළ ද ඔවුන්ගේ ක්‍රියාකාරකම් මේ වන විට ක්‍රියාත්මක බවයි. පොළොන්නරුවේ අද (10) පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
 
[MP3]s54954_2[/MP3]