ශ්‍රී ලංකාව ගැන මන්මෝහන් සිං සහ සෝනියා ගාන්ධි අතර විශේෂ සාකච්ඡාවක්.

Saturday, 16 March 2013 - 7:56

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%82+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ජීනිවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව කටයුතු කරන ආකාරය පිළිබදව ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහ කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි අතර දීර්ඝ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා. ඊයේ (15) ඉන්දීය රාජ්‍ය සභාවේදී ඉන්දීය විදේශ ඇමති සල්මාන් කුර්ෂිඞ් මේ බව දැනුම් දී තිබෙනවා. දෙමළ ජනතාවට සම අයිතීන් ලබාදෙන ලෙසත්, ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කිරීම සඳහා කඩිනමින් ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක විය යුතු බවත් පවසමින් ඞී.එම්.කේ පක්ෂය සහ ඒ.ඞී.එම්.කේ. පක්ෂය ඊයේ (15) ඉන්දියානු රාජ්‍ය සභාවේදී උද්ඝෝෂණයක ද නිරත වුණා. එම උද්ඝෝෂණයට පිළිතුරු ලබාදෙන අවස්ථාවේදීයි විදේශ අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ. එම ප්‍රකාශයේ දී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇමරිකාව, ජිනිවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවට සහාය ලබාදීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

 

මේ අතර, ශ්‍රී ලංකාව පිළිබද ඇමරිකාව ගෙන ආ යෝජනාවට ඉන්දීය රජය විසින් සංශෝධන ලබා නොදුනහොත් ඉන්දියානු කැබිනට් මණ්ඩලයෙන් තමන් ඉවත් වන බව ඞී.එම්.කේ පක්ෂ නායක එම්. කරුණානිධි පවසනවා. ඉන්දීය මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ යුද සමය තුළ පීඩාවට පත්වූ දෙමළ ජනතාව වෙනුවෙන් තවමත් සාධාරණය ඉෂ්ට කිරීම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කර නොමැති බවයි. තවදුරටත් ශ්‍රී ලංකාවේ සිටින දෙමළ ජනතාව පිළිබද ඉන්දීය රජයේ අවධානය යොමු නොවුණහොත්, කැබිනට් මණ්ඩලය නියෝජනය කිරීමේ ප්‍රතිඵලයක් නොමැති බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.

 
ඞී.එම්.කේ පක්ෂයේ මන්ත්‍රීවරුන් 18 දෙනෙකු ඉන්දීය රාජ්‍ය සභාව නියෝජනය කරන අතර ඉන් 5 දෙනෙකු ඉන්දීය රජයේ අමාත්‍යවරුන් ලෙස කටයුතු කරනවා. ඞී.එම්.කේ. පක්ෂය මධ්‍යම රජයෙන් ඉවත් වුවහොත් එය කොංග්‍රස් පක්ෂයේ රජය බිඳ වැටීමට ද බොහෝදුරට ඉඩ ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.