ඇමෙරිකානු යෝජනාවට, අවසන් මොහොතේ ඉන්දියාවෙන් සංශෝධන.

Thursday, 21 March 2013 - 13:25

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%2C+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1.



ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ඉදිරිපත් කර ඇති යෝජනාවට අවසන් මොහොතේදී සංශෝධන ඉදිරිපත් කිරීමට ඉන්දියාව සූදානම් වනවා. අද මෙම යෝජනාව ඡන්ද විමසීමට ගන්නා අවස්ථාවේදී අදාළ සංශෝධන ඉදිරිපත්කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ජිනීවා මානව හිමිකම් සමුළුවේ ඉන්දීය නිත්‍ය නියෝජිත දිලිප් සිංහා  විසින් අදාළ සංශෝධන ඉදිරිපත් කරනු ඇති. ජිනීවා නුවර සිට පසුගිය සති අන්තයේ නව දිල්ලියට පැමිණි දිලිප් සිංහා ඊයේ යළිත් ජිනීවා නුවරට ළඟාවුණා. ඔහු ඉන්දියාවේ ගත කළ කාලය තුළදී අදාළ සංශෝධන ඉන්දීය රජය විසින් ඔහුට ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.

 

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉන්දීය පාර්ලිමේන්තුවට අද දිනයේ ඉදිරිපත් කරන බව එරට මුදල් අමාත්‍ය පී. චිදම්බරම් පවසනවා. මෙම යෝජනාවට පක්ෂ කිහිපයක සහය මෙතෙක් හිමිවී නොමැති බවයි ඔහු පවසන්නේ. ඒ හේතුවෙන් අද දහවල් දක්වා අදාළ පක්ෂ සමග මෙම යෝජනා පිළිබඳව විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බව සඳහන්. අදාළ පක්ෂවල සහය හිමිවුවහොත්     ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාව ඉන්දීය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇති.

 

පසුගියදා ඉන්දීය රජයෙන් ඉවත්වූ කරුණානිධිගේ නායකත්වයෙන් යුත් ඞී.එම්.කේ. පක්ෂයේ භාණ්ඩාගාරික එම්.කේ. ස්ටාලින් ගේ චෙන්නායි නුවර පිහිටි නිවස ඉන්දීය මධ්‍යම විමර්ශන ඒකකය විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඔහු ඉන්දියාවට වාහන ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචා කිහිපයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් හේතුවෙන් මෙම පරීක්ෂාව සිදුකළ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වුවත් තම පක්ෂය රජයෙන් ඉවත් වූ සැනින් මෙවැනි පරීක්ෂාවක් සිදුකිරීම කණගාටුවට කරුණක් බවද ඞී.එම්.කේ. පක්ෂය පවසනවා. ඞී.එම්.කේ. පක්ෂයේ භාණ්ඩාගාරික එම්.කේ. ස්ටාලින් කරුණානිධිගේ පුත්‍රයා වනවා. මේ වනවිට එම්.කේ.ස්ටාලින්ගේ හිතවතෙක් වන රාජා ශංකර් ගේ නිවසද ඉන්දීය මධ්‍යම විමර්ශන ඒකකය විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන යෝජනාව සම්බන්ධයෙන් ඡුන්ද විමසීම  අද ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සිදු කෙරෙනු ඇති. සංවර්ධනය වෙමින් පවතින රටවල් රැසක් ජිනීවා හිදී ශ්‍රී ලංකාවට සිය සහය පළ කළ බව ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. රුසියාව, තායිලන්තය, වෙනිසියුලාව, චීනය, කියුබාව, බෙලෝරුස් ජනරජය, මියන්මාරය සහ වියට්නාමය මෙලෙස ශ්‍රී ලංකාවට සහය පළ කරන රටවලට ඇතුළත්.

ඒ ඞී.එම්.කේ. සහ ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂවල මන්ත්‍රීවරුන් අද ලෝක් සභාව ආරම්භවීමත් සමග ශ්‍රී ලංකාවේ ගැටළුව මුල්කරගනිමින් විරෝධය පළ කළා. ඊට අමතරව ඞී.එම්.කේ. පක්ෂයේ මන්ත්‍රීවරුන් එහි නායක මුත්තුවේල් කරුණානිධිගේ පුතුගේ නිවස පොලීසිය පරීක්ෂා කිරීමට විරෝධය පළ කරමින්ද අදහස් දක්වා තිබෙනවා.

මේ අතර ලෝක් සභාව තුළ ටි‍්‍රනමුල්  කොංග්‍රසය සහ කොංග්‍රස් මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ද අදහස් දැක්වීමත් සමග ඉන්දීය ලෝක් සභාව උණුසුම් වී තිබෙනවා. මේ හේතුවෙන් එය අද දහවල් 12 දක්වා කල් තැබුවා. එමෙන්ම රාජ්‍ය සභාවද ඞී.එම්.කේ. සහ ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ උද්ඝෝෂණ හේතුවෙන් අද (21) දහවල් 12 දක්වා කල් තැබීමට තීරණය කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.