තිලංගට ශ්‍රී ලංකා ක්‍රිකට් දොර වැසෙයි.

Tuesday, 26 March 2013 - 7:45

%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරය සඳහා තිලංග සුමතිපාල ලබාදුන් නාමයෝජනාව ප්‍රතික්ෂේප කළ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ප්‍රකාශ කළා. ඒ, ඔහුගේ ඉදිරිපත්වීම පිළිබදව ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්. ක්‍රීඩා පනතේ  15 / 1 රෙගුලාසි යටතේ  වන වගන්ති උල්ලංගණය කිරීම මීට හේතුව බව ද ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

පසුගිය ජනවාරි මාසයේ දී සංශෝධනය කර සම්මත කෙරුණු නව ක්‍රීඩා පනතේ 15 / 1 වගන්තියේ ඇ, එ, ඒ දැක්වෙන පරිදි යම් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයන්හි වෘත්තීමය ජනමාධ්‍යවේදියෙකු හෝ එවැනි ජාලයක අයිතිකරුවෙකුව සිටීම, එම ක්‍රීඩාවට අදාළ ක්‍රීඩා භාණ්ඩ, මෙවලම් හා උපකරණ නිෂ්පාදනය කිරීමේ, එකලැස් කිරීමේ, නිපදවීමේ හෝ බෙදා හැරීමේ ව්‍යාපාරයකට ඍජු හෝ වක්‍රව සම්බන්ධව යෙදී සිටින්නෙකු වීම සහ සූදු ව්‍යාපාරයකට ඍජු හෝ වක්‍ර සම්බන්ධතා ඇති පුද්ගලයෙකුට මෙම පනත අනුව ක්‍රීඩා සංගමයක නිළවරණයකට ඉදිරිපත් විය නොහැකි වනවා. ඒ අනුවයි තිලංග සුමතිපාලගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත්තේ.

පසුගිය පෙබරවාරි 27 වැනිදා ශ්‍රී ක්‍රිකට් සභාපති ධුරය සඳහා තිලංග සුමතිපාල නාම යෝජනා භාර දෙනු ලැබුවා. නමුත් එම යෝජනාවට එරෙහිව සෙබතිය නයිට් ක්‍රිඩා සමාජය, බදුරලිය ක්‍රීඩා සමාජය සහ කෑගල්ල ක්‍රීඩා සමාජය විරෝධතා ගොනු කර සිටියා. මෙම විරෝධතාවන් පිළිබද විභාග කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. ඊට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද හා විගනකාධිපති දෙපාර්තමේන්තුවේ හිටපු නිළධාරියෙකු වන බී.එම්.කේ. මොහොට්ටාල ඇතුළත් වුණා. එම කමිටුවේ වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාරදීමෙන් පසු නීතිපතිවරයා වෙත යොමු කෙරුණේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහායි. ඒ අනුව ක්‍රීඩා පනතට පටහැනි නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලතල ඇති බවට නීතිපතිවරයා දැනුම් දුන්නා.

ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ සදහන් පරිදි තිලංග සුමතිපාල හට ක්‍රීඩා පනතට අනුව ක්‍රිකට් ආයතනයේ නිළවරණයට ඉදිරිපත්වීමට නීතිමය ප්‍රතිපාදන නොමැති හෙයින් එම යෝජනා ප්‍රතික්ෂේප කළ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඊයේ (25) පස්වරුවේ ගත් මෙම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දුන් බව ද ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.