අයි.පී.එල්. තරඟ සඳහා ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් එපා. ජයලලිතාගෙන් ඉන්දීය අගමැතිට ලිපියක්.

Tuesday, 26 March 2013 - 19:01

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් චෙන්නායි හි පැවැත්වෙන තරඟ සඳහා සහභාගිවීම වළක්වන ලෙස තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් එරට අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අගමැතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකරමින් මහ ඇමතිනි ජයලලිතා ජයරාම් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්, විනිසුරුවරුන් සහ නිලධාරීන් චෙන්නායි හි පැවැත්වෙන තරඟ සඳහා සහභාගි නොකළ යුතු බවයි. ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින්ට චෙන්නායි හිදී තරඟවලට සහභාගිවීමට සුදුසු වාතාවරණයක් නොමැති බව ඇය සිය ලිපියේ වැඩිදුරටත් පෙන්වා දෙනවා. ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් මෙම තරඟවලට සහභාගිවීමෙන් අනවශ්‍ය ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවයි ජයලලිතාගේ ලිපියේ සඳහන් වන්නේ. පවතින වාතාවරණය යටතේ ගැටුම්කාරී තත්ත්වයක් සුළු සිද්ධියකින් පවා නිර්මාණය විය හැකි බව ජයලලිතා ජයරාම් තවදුරටත් පවසනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය මධ්‍යම රජයේ සන්නිවේදන අමාත්‍ය මනිෂ් තෙවාරි ප්‍රකාශ කළේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ වනවිට රටින් බැහැරව ඇති බැවින් ඔහු නවදිල්ලි නුවරට පැමිණි විගස එම ලිපියට පිළිතුරක් ලබාදෙන බවයි.

අයි.පී.එල්. තරඟාවලිය සම්බන්ධයෙන් තමිල්නාඩුවේ ඇතිවී තිබෙන නව උණුසුම්කාරී තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගනු ලබන පියවර සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අයි.පී.එල් තරඟාවලියට සහභාගි කරවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් උපදේශන වාර්තාවක් ඉල්ලා ඇති බවයි එහිදී ශ්‍රිී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉන්දියාවේදී පවතින ආරක්ෂාව සහ එහි වර්තමාන දේශපාලන පසුබිම එම උපදේශන වාර්තාවෙන් බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ. එම වාර්තාව ලැබුණු සැනින් අයි.පී.එල්. තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගි කරවීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර දකුණු ඉන්දියානු සිනමා ශිල්පීන් ශ්‍රී ලංකාවට එරෙහිව ලබන අප්‍රේල් 2 වැනිදා චෙන්නායි හි දී උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. මෙම උපවාසය සඳහා ප්‍රවීන කොලිවුඞ් සිනමා ශිල්පීන් වන කමල් හසන්, රජිනි කාන්ත් සහ විජේ යන රංගන ශිල්පීන්ද එක්වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මෙම උපවාසයට දකුණු ඉන්දීය චිත්‍රපටි කර්මාන්තය සම්බන්ධ ශිල්පීන් සහ තමිල්නාඩුවේ ශිෂ්‍ය සංවිධානද එක්වීමට නියමිත බව සඳහන්.

තවද ඉන්දියාව මූලික කරගත් මෙරට ක්‍රියාත්මක ජංගම දුරකථන සමාගමකට අයත් චෙන්නායි හි පිහිටි කාර්යාලයට අද දහවල් පහරදීමක් සිදුව තිබෙනවා. එම සමාගම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පවත්වාගෙන යෑමට විරෝධය පළ කරමින්  චෙන්නායි හි නීති විද්‍යාලය සහ උසස් අධ්‍යාපන ආයතනයක සිසුන් පිරිසක් මෙම පහරදීම සිදුකළ බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. එම පහරදීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.

මේ අතර තමිල්නාඩු ප්‍රාන්ත සභාවේදී අද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වුණා. එම විවාදයට සහභාගිවෙමින් තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත යළි ඉන්දියාවට ලබාගත යුතු යැයි ප්‍රකාශ කර තිබෙනවා. එම දූපතේ ඓතිහාසික වටිනාකම ඉන්දියාව සතු හෙයින් එය ලබාගැනීමට මධ්‍යම රජය කඩිනමින් පියවර ගත යුතු බවයි ඇය පෙන්වා දී ඇත්තේ. 1974 දී ශ්‍රිී ලංකාව සහ ඉන්දියාව අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව කච්චතිව් දූපත ලංකාවට පැවරුණා.