තමිල්නාඩු විරෝධය ශ්‍රී ලංකා දෙමළ ජනතාව වෙනුවෙන් නොවේ.

Saturday, 30 March 2013 - 13:03

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.

තමිල්නාඩුවේ දැන් පැන නැගී ඇති ශ්‍රී ලංකා විරෝධය හුදෙක් දේශපාලන වාසි ලබා ගැනීමේ තරගයක් මිස ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන්නක් නොවන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත අද සිය කතුවැකියෙන් පෙන්වා දෙනවා. ඔවුන් කියා සිටින්නේ ශ්‍රී ලංකාව සමඟ මිතුරු සබඳතා අත්හරින ලෙසත්, තමා ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් ජනමත විචාරනයක් පැවැත්වීමට බල කරන ලෙසත්, ආර්ථික සම්බාධක පනවන ලෙසත්, තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ගෙන ආ යෝජනාව සාධාරණීකරණය කළ නොහැකි බවයි. එම යෝජනා ඉන්දීය මධ්‍යම රජය විසින් ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් ඊයේ ප්‍රකාශ කළා. ජයලලිතාගේ තමිල්නාඩු ප්‍රාන්ත රජය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තහංචි පැනවීම ද හින්දුස්ථාන් ටයිම්ස් කතුවැකියෙන් විවේචනයට ලක් කර තිබෙනවා. මෙමගින් කියා සිටින්නේ ක්‍රීඩාව යනු දේශපාලඥයන්ගේ ලකුණු පුවරුවක් නොවන බවයි. තමිල්නාඩු මහඇමතිනියගේ ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 13 දෙනෙකුට චෙන්නායි තරගවලට සහභාගිවීමට නොහැකි වනවා. මෙහිදී ඉන්දීය පුවත්පත එවැනි ක්‍රීඩකයෙකු වන චෙන්නායි දෙවැනි නිවහන කර ගත් මුත්තයියා මුරලිදරන්ගේ ප්‍රකාශයක් ද උපුටා දක්වා තිබෙනවා. මුරලිදරන් ඉන්දියානුවන්ගෙන් සහ තමිල්නාඩු බලධාරින්ගෙන් ඉල්ලා සිටියේ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ යථාර්ථයන් වටහාගෙන කටයුතු කරන ලෙසයි.

 

එමෙන්ම කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වේලායුදන් දයානිධි නොහොත් දයා මාස්ටර් කළ ප්‍රකාශයක් ද හින්දුස්ථාන් ටයිම්ස් කතුවරයා සිහිපත් කළා. ශ්‍රී ලාංකිකයන්ට දේශපාලන අනාගතය පිළිබඳ පැහැදිලිතාවක් පවතින බවයි දයා මාස්ටර් ප්‍රකාශ කළේ. එමෙන්ම, තමිල්නාඩු ශ්‍රී ලංකා විරෝධය මෙරට සිංහල, දෙමළ ජනකොටස් අතර බෙදීමක් මිස සංහිඳියාවකට හේතු නොවන බව දයා මාස්ටර් ප්‍රකාශ කළා.

 

තමිල්නාඩු දේශපාලඥයන් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය සරල ගැටුමක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරනවා. එහෙත්, මෙරට යුද්ධයේදී ජීවිත හානි සිදුවූයේ සිවිල් වැසියන්ගේ පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ තුන් වන විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස සහ හිටපු ඉන්දීය අගමැති රාජිව් ගාන්ධි ද ඝාතනයට ලක්වූයේ එල්.ටී.ටී.ඊ සංවිධානය අතින්. එවැනි, අතීතයක් පවතින අරගලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජයලලිතා තහංචි පැනවීම අනුමත කළ නොහැකි බවත්, ඉන්දීය පුවත්පත පෙන්වා දෙනවා. මෙහිදී, ජයලලිතා බෙදුම්වාදී අරගලයට කෘත්‍රිම යහගුණයක් ආරෝපණය කිරීමට උත්සාහ කරන බවයි එමගින් සඳහන් කළේ. එය ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්තවලට පිළිගත නොහැකි අතර පිළිනොගත යුතු කරුණක් බවයි හින්දුස්ථාන් ටයිම්ස් කතුවැකියෙන් පෙන්වා දෙන්නේ.


[JPG]56233_1[/JPG]