ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයෙන් ශ්‍රී ලංකාව ගැන ඉල්ලීමක්.

Sunday, 31 March 2013 - 7:32

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1++%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් සම්මත කරගනු ලැබූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඉන්දීය මධ්‍යම රජය නිසි ප්‍රතිචාරයක් දක්වා නැතැයි ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය චෝදනා කරනවා. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ඩී. රාජා ප්‍රකාශ කළේ තමිල්නාඩු ප්‍රාන්ත සභාව ඒකමතිකව තීරණය කළ යෝජනාව පිලිබඳව කටයුතු කිරීම මධ්‍යම රජයේ වගකීමක් බවයි. ඒ පිළිබඳව මධ්‍යම රජය අවංක ලෙස කටයුතු කර නැහැ. එය ඉන්දීය ෆෙඩරල් ක්‍රමය සහ යහපාලනය පිටුදැකීමක් ලෙසයි ඉන්දීය කොමියුනිස්ට් පක්ෂ ලේකම්වරයා සඳහන් කළේ. ඇතමුන් යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍ය හරහා මත පළ කරන බව පැවසූ ඔහු කියා සිටියේ ඒ සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රතිචාරය දැක්විය යුතු බවයි.

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් විසින් ප්‍රාන්ත සභාවට ඉදිරිපත් කළ යෝජනාව ප්‍රධාන කරුණු  3 කින් සමන්විත වුණා. දෙමළ ඊළාම් රාජ්‍යයක් සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම, ශ්‍රී ලංකාව මිත්‍ර රටක් ලෙස නොසැලකීම සහ ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීම එම යෝජනායි. තමිල්නාඩු ප්‍රාන්ත සභාව සම්මත කරගත් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළා.
 
මේ අතර ඉන්දීය වාර්තා ඊයේ ප්‍රකාශ කළේ ජයලලිතාගේ ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂයේ සහය කොංග්‍රස් සන්ධානයට ලබාගැනීම සඳහා කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි උත්සාහ කරමින් සිටින බවයි. කරුණානිධිගේ ඞී.එම්.කේ. පක්ෂය සහ ටි‍්‍රනාමුල් කොංග්‍රස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග ලෝක් සභාව තුළ ඔවුන්ට හිමි බලය අඩුවුණා. ඞී.එම්.කේ. පක්ෂය ඉවත්වීමත් සමග කොංග්‍රස් සන්ධානයට සහය පළ කළ සමාජවාදී පක්ෂය සමගද දැන් මතබේද හටගෙන තිබෙනවා. කෙසේ නමුත් කොංග්‍රස් සන්ධාන රජයේ සම්පූර්ණ නිල කාලය අවසන් වනතුරු එනම් 2014 වන තුරු ආණ්ඩුව පවත්වාගැනීමට හැකිවනු ඇතැයි අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං විශ්වාසය පළ කළා.