ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා සභාපතිත් පොලීසියට පහර දෙයි.

Monday, 27 May 2013 - 18:47

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ඇඹිලිපිටිය - දඩුහැතැක්ම ප්‍රදේශයේ රාජකාරී කටයුතුවල නිරත වී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන පැවසුවේ බලපත්‍ර නොමැතිව පුද්ගලයින් තුන්දෙනෙකු රැගත් යතුරුපැදියක්, පා මුර සංචාරයේ නිරත වෙමින් සිටි මෙම පොලිස් නිළධාරීන් දෙදෙනා ඊයේ (26) රාත්‍රියේදී පරීක්ෂාවට ලක් කර ඇති බවයි.

 

ඇඹිලිපිටිය - වලල්ගොඩ ප්‍රදේශයේ දී මෙම පරීක්ෂාව සිදුකර ඇති අතර, පසුව එම පොලිස් නිලධාරීන් දඩුහැතැක්ම ප්‍රදේශයට ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී කළු පැහැති මෝටර් රථයකින් පැමිණි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු තවත් පුද්ගලයෙකු මෙම පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කර පහරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. පහරකෑමෙන් තුවාල ලැබූ එක් පොලිස් නිලධාරීයෙකු මේ වන විට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන කියා සිටියා.

 

මේ අතර, බුලත්සිංහල, නිල්ලකන්ද කෝවිල අසළ ඇති වූ ගැටුමක් මැඩ පැවැත්වීමට ගිය බුලත්සිංහල පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ද ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ඇතුළු පිරිසක් පහර දී තිබුණේ ඊයේ (26) රාත්‍රී කාලයේදියි. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් ඔවුන්ට පහර දී ඇති අතර, ඊට සම්බන්ධ පුද්ගලයෙකු පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ වෙතත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු තුන්දෙනෙකු මේ වන විට ප්‍රදේශය අතහැර පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.



 

එමෙන්ම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකා ගීතාංජලී නගුලේෂ්වරන්ගේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරින් දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

 
ඊයේ (26) රාත්‍රියේ පහරකෑමට ලක්වූ ඔවුන් වව්නියාව රෝහලට ඇතුළත් කෙරුණු අතර, එක් පොලිස් නිලධාරියෙකු තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබනවා. ආහාර ගැනීම සඳහා වව්නියාව නගරය ආසන්නයට ගොස් සිටියදී, යතුරුපැදියකින් පැමිණි පිරිසක් පොලිස් නිලධාරින්ට පහරදී ඇති බවයි කිලිනොච්චි දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකා ගීතාංජලී නගුලේෂ්වරන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.