කැනඩාවේ ශ්‍රී ලංකා විරෝධයට සැබෑ හේතුව හෙලිවේ.

Wednesday, 29 May 2013 - 18:45

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%9A.

ශ්‍රී ලංකාවේ  පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට කැනඩාව සහභාගි නොවන්නේ කැනඩාවේ සිටින දෙමළ ජනතාවගේ ඡන්ද අහිමි වීමේ බිය නිසා බවට තමා විශ්වාස කරන්නේ යැයි ශ්‍රී ලංකාවේ හිටපු කැනේඩියානු මහ කොමසාරිස්වරයෙකු පවසනවා. 1983 වසරේ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා වූ මාටින් කොල්කොට් කියා සිටියේ දකුණු ආසියානු කලාපයෙන් පරිබාහිරව විශාලතම ශ්‍රී ලාංකික සහ දෙමළ ජාතිකයන් පිරිසක් වෙසෙන රට කැනඩාව බවයි. පවතින ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මෙරට වෙසෙන දෙමළ ජනතාව පීඩාවට පත් කරන බවට කැනඩාව තුළ ජීවත්වන දෙමළ ජාතිකයන් පෙන්වීමට උත්සාහ ගන්නා බවටද ඔහු චෝදනා කරනවා.

ශ්‍රී ලංකාවේ සිට සරණාගත භාවය පතා වෙනත් රටවලට පැමිණෙන සරණාගතයින් වැඩි සංඛ්‍යාවක් ජීවත්වන්නේ ද කැනඩාවේයි. ඔවුන්ගෙන් ඇතැම් පිරිස එල්.ටී.ටී.ඊ. ය සමග සම්බන්ධතා පැවැත්වූ අය බවද හිටපු කැනේඩියානු මහ කොමසාරිස්වරයා පවසනවා. කැනඩාව තුළ පැවති ලිබරල් රජයන් සෑමවිටම එල්.ටී.ටී.ඊ. ය ත්‍රස්ත සංවිධානයක් ලෙස පිළි නොගත් බැවින් එය තහනම් සංවිධානයක් ලෙස නම් නොකළ බවද ඔහු ප්‍රකාශ කළා. මේ නිසා එල්.ටී.ටී.ඊ ය සිය ආධාර රැස් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙසයි කැනඩාව භාවිතා කරනු ලැබුවේ. එය මෙරට යුද්ධය දීර්ඝ වීමට හේතුවක් වන්නට ඇති බවට තමා විශ්වාස කරන්නේ යැයිද හිටපු මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදුවූ බවට පරීක්ෂණ පවත්වන ලෙස වෙනත් රටවල් විසින් ඉල්ලීම් කිරීම අසාධාරණ බවයි ශ්‍රී ලංකාවේ හිටපු කැනේඩියානු මහ කොමසාරිස් මාටින් කොල්කොට් අවධාරණය කරන්නේ. ඔහු මෙම කරුණු අනාවරණය කර තිබුණේ ඉන්දියාවේ තමිල් වින් නැමති දෙමළ වෙබ් අඩවියටයි.