අල්ලස් ගත් දිසා විනිසුරු යළිත් රිමාන්ඞ්.

Monday, 03 June 2013 - 18:48

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.

හංවැල්ල හෝටල් හිමි කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 3ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ ආරක්ෂකයාව සිටි පොලිස් කොස්තාපල්වරයා ලබන 10 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, මීට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවේ අද (03) යළි කැදවූ අවස්ථාවේදියි. සැකකාර විනිසුරුවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම දිසා විනිසුරුවරයා බවයි. විනිසුරුවරයාව අල්ලස් කොමිසම බොරු නඩුවක පටලවා ඇති බව ද ඔහුගේ නීතිඥවරයා අද (03) අධිකරණයේ දී කියා සිටියා.

දිසා විනිසුරුවරයා තම නිවස සාදා ගැනීමට අවශ්‍ය පෙදරේරුවන් සොයා ගැනීමට හංවැල්ලේ පිහිටි මෙම හෝටලයට ගොස් ඇති බවත්, එහිදී අල්ලස් ගැනීමක් සිදුවී නොමැති බවත් ඔහු තවදුරටත් සඳහන් කළා. මෙහිදී අල්ලස් කොමිසම සඳහන් කළේ සැකකරුට එරෙහිව විමර්ශන සිදුකරන අවස්ථාවේදී ඔහුගේ හිතවතුන් බව කියන පාතාල සාමාජිකයින් සහ ගණිකා මඩම් හිමිකරුවන් යැයි කියා ගන්නා 200කට ආසන්න ප්‍රමාණයක් පැමිණ සිටි බවයි. ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට අවසර දෙන්නැයි අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය, අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සතියක් ඇතුළත එහි වාර්තාවක් අධිකරණයට ලබාදෙන ලෙස ද නියෝග කළා.  

රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් අධිකරණ පද්ධතිය විනාශ කිරීම සඳහා අල්ලස් කොමිසම කටයුතු කර ඇති බවයි සැකකාර විනිසුරුවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය සදහන් කළේ. එවැනි අරමුණක් නොමැති බවත්, දුෂිත නිලධාරීන් අධිකරණ පද්ධතියෙන් ඉවත් කිරීමේ අරමුණින් මෙම වැටලීම සිදුකළ බව අල්ලස් කොමිසම මෙහිදී දැනුම් දුන්නා.

පැමිණිලිකාරියට වාසිදායක වන අයුරින් නඩුවක් විභාග කිරීම රුපියල් ලක්ෂ 3ක අල්ලස් මුදල ලබා ගැනීමට තැත් කිරීමේ දී සැකකරුවන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මස 29 වන දායි. අදාළ නඩුව පැමිණිලිකාරියට වාසි වන අයුරින් විභාගයට ගන්නා බව සැකකාර විනිසුරුවරයා තම උපයා දුතයා ඉදිරියේ ප්‍රකාශ කර ඇති බව ද අල්ලස් කොමිසම අධිකරණය හමුවේ සදහන් කළා. එසේ නම් එම ප්‍රකාශ පටිගත නොකළේ මන්දැයි මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අධිකරණය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරිනියගෙන් ප්‍රශ්න කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඇය කියා සිටියේ එවැනි නවීන තාක්ෂණ උපකරණ අල්ලස් කොමිසම සතුව නොමැති බවයි.

 
පැමිණිලිකාරිය හා මෙම අල්ලස් මුදල් ලබා ගත් බව කියන විනිසුරුවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අතර සිදුවූ දුරකථන ඇමතුම් පිළිබද විස්තර වාර්තා ද අද (03) අල්ලස් කොමිසම විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.