කොළඹ නීතිපීඨය තාවකාලිකව වසා දමයි.

Tuesday, 04 June 2013 - 7:39

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%A8%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය ඩෙංගු අවදානම හේතුවෙන් ලබන 10 වන දා දක්වා වසා දැමීමට එහි පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා විසින් ඊයේ (03) විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වෙත ලබාදුන් නිර්දේශයක් අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ. කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨ ගොඩනැගිල්ලේ වැහි පීලි අබලන්වීම හේතුවෙන් එහි තුන්වන මහලේ ජලය රැදී තිබෙනවා. ඊයේ (03) පෙරවරුවේ කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය නිළධාරී කණ්ඩායමක් විසින් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වූයේ එම ජලයෙහි ඩෙංගු කීටයන් සිටින බවයි. ඒ අනුව නීතිපීඨය තාවකාලික වසා දමන ලෙස කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා උපකුලපතිවරයාගෙන් ඉල්ලා සිටියා. විශ්වවිද්‍යාල උපකුලපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ රැස්වූ එහි පාලන අධිකාරිය විශ්වවිද්‍යාල නීති පීඨය 10 වන දා දක්වා වසා තැබීමට තීරණය කළා.

 
මේ අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨය සහ කළමනාකරණ පීඨ පරිශ්‍රය ඩෙංගු කීටයන් බෝවීම වැළැක්වීම සඳහා විශේෂ පවිත්‍ර වැඩසටහන් ද අද (04) දිනයේ ක්‍රියාත්මකයි. මීට අමතරව පසුගිය දා කොළඹ මහ නගර සභාව විසින් කොළඹ ප්‍රදේශයේ පාසල් 12ක් ද ඩෙංගු අවදානම හේතුවෙන් වසා දමන ලෙස නිර්දේශ නිකුත් කර තිබුණා.