ඩී.අයි.ජී. වාස් ගුණවර්ධන පැය 72 ක් රඳවා ගනී.

Tuesday, 11 June 2013 - 19:16

%E0%B6%A9%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A2%E0%B7%93.+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+72+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

දැනට අත්අඩංගුවේ පසුවන නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් 7දෙනෙකු පරීක්ෂණ අවසන් වන තුරු රැදවුම් නියෝග මත තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර අද අධිකරණයට දැනුම් දුන්නා. බම්බලපිටිය ප්‍රදේශයේ දී කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඞ් සියාම් නැමැත්තා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට එල්ලවී තිබෙනවා. ඒ අනුව ඔහුව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් අතර මීට පෙර පොලිස් නිලධාරීන් හතරදෙනෙකු ඇතුලූ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. එහි පරීක්ෂණ සිදුකරන ආකාරය පිළිබදව වාර්තාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහබ්දීන් වෙත ඉදිරිපත් කරමිනුයි රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණයට දන්වා ඇත්තේ මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවාගෙන ප්‍රශ්න කරන බවයි. සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පොලීසිය නිකුත් කර තිබූ පිස්තෝල දෙකක් පෑලියගොඩ පොලීසිය භාරයේ තිබී රහස් පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ බව කියන වාහන දෙකක් රහස් පොලිස් භාරයට ගත් අතර ඉන් එකක් කොළඹ අපරාධ කොට්ඨාශයට අයත් කැබ් රථයක්. අනෙක වෑන් රථයක් බවයි රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ. ඝාතනයට ලක්වූ මොහොමඞ් සියාම් නැමති කෝටිපති ව්‍යාපාරිකයාගේ රථය මේ වනවිට මිරිහාන පොලීසිය භාරයේ තිබෙන බවද අධිකරණයේදී අද අනාවරණ වුණා. අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණවල ප්‍රගතිය මේ මස 18 වැනිදා අධිකරණය වෙත වාර්තා කරන ලෙසයි.

මේ අතර අත්අඩංගුවට ගත්තවුන් අතර සිටින සිවිල් වැසියන් දෙදෙනා සිය කැමැත්තෙන්ම අද අධිකරණයට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එස්. සහබ්දීන් හමුවේ මහේස්ත්‍රාත් නිල මැදිරියේදී පැය ගණනාවක් එම ප්‍රකාශය ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.

මීට පෙර මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක නැමති සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශාමලී පෙරේරාට ද චෝදනා එල්ල වුණා. රවිඳු ගුණවර්ධන නැමති නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුතු සමග ඇතිවූ ගැටුමකට සම්බන්ධවයි නිපුණ රාමනායකට පොලිස් නිලධාරීන් පිරිසක් සමග ගොස් ඇය පහරදුන් බවට චෝදනා එල්ලවුණේ.
 
2009 වසරේ අගෝස්තු මාසයේ සිදුවූ මෙම සිද්ධියට අදාළව නිපුණ රාමනායක සිසුවාගේ පාර්ශවය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව තිබුණා. ඒ, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි. එහෙත් අසනීප තත්ත්වයක් හේතුවෙන් එක් විනිසුරුවරයෙකු නොපැමිණීම නිසා පෙත්සම විභාගය ජනවාරි 20 වැනිදා දක්වා කල්දමා තිබෙනවා.