වාස්ගෙන් විමර්ෂණ නිලධාරීන්ට ජීවිත අනතුරු තර්ජනයක්.

Thursday, 13 June 2013 - 19:10

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහබ්දීන් අද (13) නියෝග කළා. ඒ, දැනට හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නියෝජ්‍ය පොලිස්පතිවරයාව එහි ගොස් පරීක්ෂා කිරීමෙන් පසුවයි.

 

නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනව පසුගිය 10 වැනිදා අත්අඩංගුවට ගැනුනේ බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඞ් සියාම් නැමැත්තා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතයි. මෙම චෝදනාව මත නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 04 දෙනෙකු ද අත්අඩංගුවට ගැනුණා. මීට අමතරව සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් අතර ඔවුන් මීට පෙර නඩු දිනයේදී මහේස්ත්‍රාත් නිල මැදිරියේදී ස්ව කැමැත්තෙන් ප්‍රකාශයන් ලබාදී තිබෙනවා.

 

රක්ෂිත බන්ධනාගාරගත කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ 42 වන වාට්ටුවේ 09 වන ඇඳෙහි ප්‍රතිකාර ලබනවා. රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයෙන් පසුව රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහබ්දීන් වෙත පරීක්ෂණයේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළා. සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු අසුන්ගෙන සිටි පුටුව පිටුපසට තල්ලූකර මෙවැනි ප්‍රකාශයක් කළ බවද එම වාර්තාවේ සඳහන්.

 

මට තේරුණා, උඹලා මේ වැඬේ කරනවා කියා. හැබැයි උඹලාට බැහැ හැමදාම මාව ඇතුලේ තබා ගන්න. ශානි මම මිනීමරුවෙක්. මම එලියට ආපු දවසට බලා ගනිල්ලා උඹලාට කරන දේ.

 

මෙම ප්‍රකාශය සිද්ධිය විමර්ෂණය කළ නිලධාරීන්ට කළ ජීවිත අනතුරක තර්ජනයක් මෙන්ම පවුලේ අයට එල්ල වූ තර්ජනයක් බව රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර අධිකරණය හමුවේ කියා සිටියා.

 

වාස් ගුණවර්ධන සේවය කළ බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පවත්වාගෙන ගිය තොරතුරු පොත් සහ රාජකාරී ලේඛණ ද රහස් පොලිසිය භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 04 දෙනා එදිනෙදා කළ රාජකාරීවල සටහන්ද නොතිබූ බවයි රහස් පොලිසිය පැවසුවේ. වාචික නියෝග අනුව කටයුතු කර ඇති එම නිලධාරීන් කිසිදු පාලනයකින් තොරව ක්‍රියාකර ඇති බවද රහස් පොලිසිය අද ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්.

 

කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියේදී වාහන දෙකක්ද අත්අඩංගුවට ගත් අතර, ඉන් එකක් කොළඹ අපරාධ කොට්ඨාසයට අයත් කැබ් රථයක්. එහි තිබී අඩි 02 ක් පමණ දිග තංගුස් නූල් දෙකක්, චීත්ත රෙදි කැබැල්ලක් මෙන්ම, කෙස් ගස් දෙකක්ද සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් අනෙක් වාහනය වන වෑන් රථයේ පිටුපස බලන කණ්නාඩියේ තිබී ඇඟිලි සලකුණු දෙකක්ද සොයාගත් බව රහස් පොලිසිය සඳහන් කළා.

 

කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම්ට වෙඩි තබා ඝාතනය කර නිරුවත් කර දොම්පේ ප්‍රදේශයේ පාළු පෙදෙසක දමා තිබුණා. මුස්ලිම් ජාතිකයෙකු වන ඔහු මේ ආකාරයෙන් ඝාතනය කිරීමට අපරාධකරුවන්ට අරමුණක් පහළ වූයේ කෙසේද යන්න ප්‍රබල සැකයක් මතුවන බවද රහස් පොලිසිය අධිකරණය හමුවේ අද සඳහන් කළා. සැකකරුවන් කළ බව කියන අපරාධ විශාල සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බවද රහස් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

 

නඩුව යළි මේ මස 25 වැනිදා කැඳවීමට නියමිතයි. එතෙක් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර, අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටිනවා.

 

නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් අධිකරණයේ අද පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ කියා සිටියේ සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධකරුවන් රැසක් නීතියේ රැහැනට හසුකරගත් අයෙක් බවයි. ඔහු අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වනවිටත් බන්ධනාගාරයේ සිටින බැවින් ඔහුව බන්ධනාගාර ගත කිරීමෙන් ජීවිතයට තර්ජනයක් විය හැකි බවද නීතීඥවරයා පැවසුවා. එහිදී නීතීඥවරයා, සැකකරු දියවැඩියාව හා අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවද සඳහන් කළ අතර, අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේද නීතියට අනුකූල නොවන ආකාරයක් දක්නට ලැබෙන බවද කියා සිටියා.

 

ආරක්ෂාව මධ්‍යයේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තමන් එරෙහි නොවන බවයි මියගිය ව්‍යාපාරිකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මෙහිදී සඳහන් කළේ. සැකකරු දිවි නසාගැනීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව සැළකිලිමත් වන ලෙස මියගිය ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.