අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාරයට.

Monday, 08 July 2013 - 12:48

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මේ මස 15වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ - කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කළා. ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන් ඒ පිළිබඳ කරුණු විමසීම සඳහා අධිකරණය හමුවේ අද (08) දිනයේ පෙනි සිටින ලෙසට මහේස්ත්‍රාත්වරයා පසුගිය 2වැනිදා නොතීසි නිකුත් කර තිබුණා. ඒ අනුව ඔහු අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදීයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.

පසුගිය 2 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ මීට පෙර ලබාදුන් ඇප කොන්දේසි කඩකරමින් සංජීව බණ්ඩාර පසුගියදා නුගේගොඩ ප්‍රදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතාවයකට සහභාගි වී ඇති බවයි.

කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහයකට සහභාගි වී බස් රථයකින් ගමන් ගනිමින් සිටියදී සංජීව බණ්ඩාර කොළඹ නගර ශාලාවට ආසන්නයේදී අත්අඩංගුවට ගැනුනේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 19 වැනිදායි. එම වසරේ අගෝස්තු 29 වැනිදා පොලිස් ට්‍රක් රථයකට පහරදී අලාභහානි සිදුකිරීම සහ පොලිස් නිලධාරීන් හතරදෙනකුට පහරදීම මොහුට විරුද්ධව එල්ලවූ චෝදනාවයි. පසුව මොහුට අධිකරණය ඇප ලබාදුන්නා. එහිදී ඇප කොන්දේසියක් වූයේ අයුතු ජනරාශියක සාමාජිකයෙකු නොවිය යුතුයි යන්නයි.
 
එහෙත් එම කොන්දේසි කඩකර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන් අතර ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද අධිකරණයේ පෙනී සිටින ලෙසයි සංජීව බණ්ඩාරට මීට පෙර  නොතීසි නිකුත් කළේ.