මෙනන් ලංකා සංචාරය ගැන කථා කරයි.

Wednesday, 10 July 2013 - 13:01

%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

13 වන සංශෝධනය සම්බන්ධයෙන් වූ ඉන්දියාවේ මතය පිළිබඳව ශ්‍රී ලංකාවට පැහැදිලි පණිවුඩයක් ලබා දුන් බව දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක උපදේශක ශිව් ෂංකර් මෙනන් ප්‍රකාශ කළා. ඔහු ඉන්දීය මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරයෙන් අනතුරුව අදහස් දක්වමින්.

ශ්‍රී ලංකාව ඉන්දියාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට දුන් පොරොන්දු ඉටු කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ දේශපාලන විසඳුම පිළිබඳව ඉන්දියාව බලාපොරොත්තුවෙන් සිටිනවා. 13 වන සංශෝධනයට එහා ගිය විසඳුමක් ඊට අවශ්‍ය බව ඉන්දියාවේ නිරන්තර අදහස වුණා. ඒ පිළිබඳව ඉන්දීය මධ්‍යම රජයේ මතය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු පාර්ශවයන්ට පැහැදිලි කළ බවයි ශිව් ෂංකර් මෙනන් සඳහන් කර ඇත්තේ. ශ්‍රී ලංකාවට සියලූ සමාජ කණ්ඩායම්වලට එක හා සමානව ජීවත් විය හැකි වටපිටාවක් සකස් කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව් ෂංකර් මෙනන් ඊයේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ වන ලක් රජයේ මතය පැහැදිලි කර සිටියා. එය  ක්‍රියාවට නැංවීම පිළිබඳව පොදු එකඟතාවයකට පැමිණීමට ඇති හොඳම වේදිකාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව බවයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

ශ්‍රී ලංකාව වැනි කුඩා රටක පළාත් ආයතනවලට ඉඩම් හා පොලිස් බලතල පැවරීමේදී උද්ගතවන ප්‍රායෝගික ගැටළු පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කරනු ලැබුවා. මෙහිදී ක්‍රියාවට නැංවෙන ආකෘතිය රටේ සියලූ කොටස්වලට ගැළපෙන හා එකඟවිය හැකි එකක් වියයුතු බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළේ.