රජයේ මුදලින් හෙලිකොප්ටර් ඡන්ද වැඩට තහනම්.

Wednesday, 07 August 2013 - 12:58

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

රජයේ මුදල් වැය කර හෙලිකොප්ටර් සහ ගුවන් යානා මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම තහනම් කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු රාජ්‍ය, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් කියා සිටියේ රජයේ මුදල් වැය කර හෙලිකොප්ටර්, ගුවන් යානා සහ රජයේ වාහන පසුගිය කාලයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගත් බවට පැමිණිලි ලැබී ඇති බවයි. මේ නිසා මැතිවරණ කාලසීමාව තුළ කිසියම් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සඳහා මේවා යොදා නොගන්නා ලෙසයි මැතිවරණ කොමසාරිස්වරයා රජයේ නිලධාරින්ට දැනුම්දී ඇත්තේ.

රජයේ කාර්යාල ගොඩනැගිලි, පාසල් සහ රජය සතු වෙනත් ගොඩනැගිලි මෙන්ම සංචාරක නිවාස මැතිවරණ කටයුතු සඳහා භාවිතා කිරීමට ඉඩ නොදෙන ලෙස ද මැතිවරණ කොමසාරිස්වරයා දැනුම්දී තිබෙනවා. රජයට අයත් සංචාරක නිවාස, තානායම් සහ නිවාඩු නිකේතන නොමිලේ ලබාදීම ද මැතිවරණ කොමසාරිස්වරයා විසින් තහනම් කර තිබෙනවා.

ඡන්ද විමසීම සිදුකරන කාලය තුළදී රජය මුදල් වැය කරමින් විවිධාකාර වූ ජංගම සේවා සහ ප්‍රදර්ශන විවෘත කිරීම්වලට ඉඩ ලබානොදෙන ලෙසයි මැතිවරණ කොමසාරිස්වරයා රජයේ නිලධාරින්ට දැනුම්දී ඇත්තේ.