ශ්‍රී ලංකාවට ඉන්දීය යුධ නැව් එපා. - කරුණානිධිගෙන් විරෝධය.

Saturday, 07 September 2013 - 12:33

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.

ශ්‍රී ලංකාව වෙත යුධ නෞකා දෙකක් ලබාදීමට ඉන්දීය රජය ගෙන ඇති තීරණය තමිල්නාඩු ඞී.එම්.කේ. පක්ෂ නායක කරුණානිධිගේ දැඩි විවේචනයට ලක්වී තිබෙනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ එමගින් ඉන්දීය ධීවරයන්ට හෝ මෙරට දෙමළ ජනතාවට සහායක් නොවන බවයි. එලෙස ශ්‍රී ලංකාවට සපයන යුධ නෞකා මගින් ඉන්දීය ධීවරයන්ට ප්‍රහාර එල්ල විය හැකි බවයි කරුණානිධි පවසා ඇත්තේ. මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 107 දෙනෙකු මුදා ගැනීමට මැදිහත් වන්නැයි ද ඔහු මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කළා.

 
මේ අතර, ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කළ ඉන්දීය ධීවරයන් 41 දෙනෙකු ලබන 20 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය බ්‍රහස්පතින්දා නියෝග කළා. මොවුන් අතුරින් ධීවරයින් 21 දෙනෙකු පසුගිය ජුලි 5 වන දා අත්අඩංගුවට ගැනුණු අතර, තවත් 20 දෙනෙකු අත්අඩංගුවට ගැනුණේ පසුගිය අගෝස්තු 30 වනදායි. මෙම ධීවරයන් 41 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ පුවත ලැබීමත් සමඟ තමිල්නාඩුවේ රාමේෂ්වරම් හි ධීවරයන් අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළ බව හින්දු පුවත්පත වාර්තා කළා. එමෙන්ම ඔවුන් කියා සිටින්නේ මෙරට බන්ධනාගාරවල ඉන්දීය ධීවරයන් 146 දෙනෙකු රදවාගෙන සිටින බවයි. ඔවුන් සියලූ දෙනා වහා නිදහස් කරන ලෙස ද රාමේෂ්වරම් ධීවරයන් ඉල්ලා සිටිනවා. ඔවුන් හෙට දිනයේ දී ධීවර යාත්‍රාවල කළු කොඩි ඔසවා විරෝධය දක්වන බවයි තමිල්නාඩු යාන්ත්‍රික ධීවර බෝට්ටු සම්මේලනයේ ලේකම් පී. සේසු රාජා හින්දු පුවත්පතට පවසා ඇත්තේ. කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගන්නා ලෙස බල කරන තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරය ඇතුළු පෝක් බොක්ක තම සාම්ප්‍රදායික ධීවර බිමක් ලෙස හඳුන්වනවා. එහි සාමකාමීව මසුන් මැරීම සඳහා අවස්ථාව ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ධීවර සංගම් සමඟ සාකච්ඡාවක් ලබාදෙන ලෙස ද ඔවුන් ප්‍රාන්ත රජයෙන් සහ ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියා. කෙසේ නමුත්, ඉන්දීය ධීවර සංගම් ඉල්ලා සිටින පරිදි මෙරට මුහුදු තීරයේ ඉන්දීය ධීවරයන්ට මසුන් මැරීමේ අවස්ථාව ලබාදීම ලක් රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.