දයාසිරි, ජිල්මාට් කථාව වෙනස් කරයි.

Tuesday, 17 September 2013 - 18:52

%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%2C+%E0%B6%A2%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්ව වයඹ පළාත් සභා ඡන්දයට ඉදිරිපත්ව සිටින දයාසිරි ජයසේකර සිය කොම්පියුටර් ජිල්මාට් කථාව අද (17) වෙනස් ආකාරයකින් කියා සිටියා.  ඒ, හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශයක් ලබාදෙමින්.

 

දයාසිරි ජයසේකර පෙරේදා කුරුණෑගලදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ තමන්ව දෙවැනි තැනට පත් කිරීමට ඡන්දයේදී කොම්පියුටර් ජිල්මාට් කිරීම සඳහා සූදානමක් පවතින බවයි. විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ ඇතමුන්ද තම පරාජය වෙනුවෙන් කටයුතු කරන බව ඔහු එහිදී කියා සිටියා.                

 

එහෙත් අද දිනයේ හිරු ප්‍රවෘත්ති අංශයට ඇමතුමක් දුන් ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීවරයා යළිත් ප්‍රකාශයක් කිරීමට සූදානම් බවයි. ඒ අනුව ඔහු කොම්පියුටර් ජිල්මාට් කථාව, ජනතා විමුක්ති පෙරමුණද ඈදා ගනිමින් ඉදිරිපත් කළ අතර, දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීවරයා එම ප්‍රකාශයෙන් සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ ජිල්මාට් කතාවලින් ආණ්ඩුවට හානියක් වන බැවින් මැතිවරණය සාධාරණව පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.

 

කොළඹ අද පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී එහි මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා දයාසිරි ජයසේකරගේ පෙරේදා ප්‍රකාශය පිළිබඳ ප්‍රතිචාරයක් දැක්වූවා. මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම කොම්පියුටර් ජිල්මාට් කතාව මඟින් ආණ්ඩුවේ මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව ආණ්ඩුවේම අපේක්ෂකයන්ට විශ්වාසයක් නොමැති බව ප්‍රකාශ වන බවයි.          

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු මෙම කොම්පියුටර් ජිල්මාට් කථාව පිළිබඳ ප්‍රශ්න කළා. එහිදී පිළිතුරු දුන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීවරයා එවැනි ප්‍රකාශයක් සිදුකර ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.

 

දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීවරයා පෙරේදා ප්‍රකාශ කළ කොම්පියුටර් ජිල්මාට් කථාව පිළිබඳ හැටන් නගරයේ ඊයේ පැවති රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ද අදහස් පළ කළා. එහිදී හරීන් මන්ත්‍රීවරයා කියා සිටියේ දයාසිරි ජයසේකර එක්සත් ජාතික පක්ෂයේ සිටි සමයේද මෙවැනි ප්‍රකාශ සිදුකළ බවයි. ඔහු චරිත 07 ක් ඇති පුද්ගලයෙකු බවටද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා චෝදනා කළා.