ඡන්ද කොමසාරිස්ගේ පියවරට සමෘද්ධි නිලධාරීන් උරණ වේ.

Tuesday, 17 September 2013 - 19:28

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%9A.

ඡන්දය පැවැත්වෙන පළාත් සභා තුනෙහි සමෘද්ධි නිලධාරීන් තමන් අනුයුක්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තුන්වරක් අත්සන් කළයුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා සිදුකර ඇති දැනුම්දීමට සමෘද්ධි වෘත්තීය සමිති විරෝධය පළ කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් එස්.ඒ.ඞී. ජගත් කුමාර මේ බව ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මැතිවරණ පනත අනුව රජයේ සේවකයන් සම්බන්ධයෙන් මෙවැනි තීරණ ගැනීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලයක් නොමැති බවයි.

 

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් මීට අදාළ ලිපිය මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වල දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පරිපාලන බලධාරීන් වෙත යවා තිබුණේ පසුගිය 12 වැනිදායි. මාණ්ඩලික නිලධාරීන් සුළු සංඛ්‍යාවක්, කළමනාකරුවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ මෑතදී සේවයට බඳවාගත් උපාධිධාරීන් සමහරක් දේශපාලන ප්‍රවර්ධන කටයුතුවල අනිසි ලෙස නිරත වන බවට පැමිණිලි ලැබී ඇති බව එහි දැක්වෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා සිය ලිපියෙන් සිහිපත් කර ඇත්තේ අදාළ තත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලිද ලැබී ඇති බවයි. එම නිසා ක්‍ෂේත්‍ර රාජකාරිවල යොදවා ඇති සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ නවක උපාධිධාරීන් ඡන්ද විමසීම අවසන් වනතෙක් සතියේ වැඩකරන දිනවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ අත්සන් කළ යුතු බව මැතිවරණ කොමසාරිස්වරයාගේ යෝජනාව වුණා. එහිදී පැමිණීම සහ පිටවීමට අමතරව දහවල් 12 ත් 1 ත් අතර තවත් එක් වරක් අත්සන් කළයුතුයි. එමගින් ඔවුන් අනවසරයෙන් කාර්යාලයෙන් බැහැරවීම වැළැක්විය හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා යැවූ ලිපියෙහි සඳහන්.

                 

 

මේ අතර ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සමෘද්ධි කළමනාකරුවන් සහ උපාධිධාරී අභ්‍යාසලාභීන් දේශපාලන කටයුතුවල නිරතවන බවට ව්‍යාජ ප්‍රචාර දියත්වෙමින් පවතින බවයි. ඔවුන් විධිමත් අධීක්ෂණයක් යටතේ ක්‍ෂේත්‍ර රාජකාරි ඉටුකරන බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණා.

 

මෙම තත්ත්වය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගෙන්ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ එවැනි ලිපියක් පසුගිය 12 වැනිදා දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලූ රාජ්‍ය නිලධාරීන් වෙත තමන් විසින් යැවූ බවයි. දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධාරීන් රාජකාරි වේලාව තුළ හෝ රාජකාරි නිවාඩු ලබා නොගෙන හෝ රාජකාරි කටයුතුවලට මුවාවී දේශපාලන කටයුතුවල නිරතවන බවට ලැබුණු පැමිණිලි මත මෙවැනි ලිපියක් යොමු කළ බවද මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

 

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ කොළඹ අද (17) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් සමෘද්ධි නිලධාරීන් රාජකාරි වේලාව තුළදී ඡන්ද කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් අදහස් පළකළා. ඔහු කියා සිටියේ මෙම තත්ත්වය උතුර පළාතේ වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.