මෙතෙක් ප්‍රතිඵල ගැන විග්‍රහයක්.

Sunday, 22 September 2013 - 8:54

%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

උතුරු පළාතේ සියලූ දිස්ත්‍රික්කයන් හි මෙන්ම මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ සහ වයඹ පළතේ පුත්තලම දිස්ත්‍රික්කයේ සියලූ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී අවසන්. උතුරේ දිස්ත්‍රික්කයන්හි අවසන් ප්‍රතිඵල නිකුත් කළත් සමස්තයක් ලෙස උතුරු පළාතේ අවසන් ප්‍රතිඵලය මෙතෙක් නිකුත් කර නැහැ. දිස්ත්‍රික්ක ප්‍රතිඵල අනුව උතුරු පළාතෙන් දෙමළ සන්ධානයට හිමිව ඇති මන්ත්‍රි ධුර සංඛ්‍යාව 28 ක්. ප්‍රසාද ආසන දෙකද ඔවුනට ලැබුණහොත් එය 30 දක්වා ඉහළ යනවා. එම පළාතෙන් ඉතිරිව ඇති මන්ත්‍රී ධුර 8 න් 7 ක් නිදහස් සන්ධානයට හිමිවූ අතර ඉතිරි මන්ත්‍රි ධුරය හිමිවුණේ මුස්ලිම් කොංග්‍රසයටයි. මුස්ලිම් කොංග්‍රසය මන්නාරම දිස්ත්‍රික්කයෙන් එම මන්ත්‍රි ධුරය හිමිකරගත්තා.

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර 11 න් 7 ක් ම හිමිවුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි. එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රි ධුර 3 ක්ද ලංකා කම්කරු කොංග්‍රසයට එක් මන්ත්‍රි ධුරයක්ද හිමිවුණා. කම්කරු කොංග්‍රසයට එම මන්ත්‍රි ධුරය ලැබුණේ මාතලේ දිස්ත්‍රික්කයෙන්. කෙසේ වෙතත් 2009 යේ අවසන් වරට පැවති පළාත් සභා මැතිවරණය හා සැසඳීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මාතලෙන් ඡන්ද 5 167 ක් අඩුවී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට වැඩිවී ඇති ඡන්ද 7 356 ක්.
 

වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කර නැතත් එහි සියලූ මැතිවරණ කොට්ඨාශවල ප්‍රතිඵලය නිකුත් කර අවසන්. එක්සත් ජනතා නිදහස් සන්ධානය, පුත්තලම, ආණමඩුව, හලාවත, නාත්තන්ඩිය, වෙන්නප්පුව යන සියලූ ඡන්ද කොට්ඨාශ ජයගෙන තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය 2009 පළාත් සභා මැතිවරණයට වඩා සන්ධානයට පුත්තලමෙන් අඩුවී ඇති ඡන්ද සංඛ්‍යාව 6702 ක්. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 10 544 ක් වැඩිවී තිබෙනවා.

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 13 න් 11 ක ප්‍රතිඵල නිකුත් කර අවසන්. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 4 න් ප්‍රතිඵල නිකුත් වී ඇත්තේ කොත්මලේ ආසනයේ පමණයි.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති ඡන්ද බල ප්‍රදේශ 14 න් 2 ක ප්‍රතිඵල නිකුත් කෙරුණා. කුරුණෑගල - පඬුවස්නුවර ඡන්ද බල ප්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද 40 185 ක් ලබාගනිද්දී එක්සත් ජාතික පක්ෂය ලබාගත්තේ ඡන්ද 4 667 ක් පමණයි. වැඩි ඡන්ද සංඛ්‍යාව 35 518 ක්. නිදහස් සන්ධානයට එක්වූ දයාසිරි ජයසේකර එක්සත් ජාතික පක්ෂයේ සිටියදී ප්‍රධාන සංවිධායකවරයා වූයේ පඬුවස්නුවර ඡන්ද බල ප්‍රදේශයේයි.

මෙම පළාත් සභා මැතිවරණයේ මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව දෙමළ සන්ධානය උතුරෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීමට අමතරව කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණට හිමි ස්ථානයට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ළඟාවීමයි. සරත් ෆොන්සේකා නායකත්වය දරන එම පක්ෂය බොහෝ ස්ථානවලදී ජනතා විමුක්ති පෙරමුණ අභිබවා තුන්වන ස්ථානයට පත්ව සිටිනවා. එමෙන්ම නිදහස් සන්ධානයේ සිටින ඇමති ඩග්ලස් දේවානන්දාගේ ඊ.පී.ඞී.පී. සංවිධානයේ බලකොටුවක් වන යාපනයේ කයිට්ස් මෙවර දෙමළ සන්ධානය ජයගැනීමද කැපී පෙනෙන වෙනසක්. දෙමළ සන්ධානය උතුරේ දිස්ත්‍රික්ක 5 න් 3 කම සිය ඡන්ද ප්‍රතිශතය සියයට 75 ඉක්මවා ලබාගෙන තිබෙනවා. මන්නාරම සහ වවුනියාවේ ඔවුන් ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 60 ඉක්මවා තිබීමද විශේෂත්වයක්.

2009 පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට මධ්‍යම පළාතෙන් හිමිවූ මැතිවරණ කොට්ඨාශ දෙකෙන් එකක් වන මහනුවර මෙවරත් රැකගැනීමට එම පක්ෂය සමත්වුණා.