හිටපු පළාත් මන්ත්‍රීන් 33 කට මන්ත්‍රී ධුර අහිමි වෙයි.

Monday, 23 September 2013 - 13:13

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+33+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



පැවති පළාත් සභා මැතිවරණයේදී වයඹ සහ මධ්‍යම පළාත් දෙකෙන්, හිටපු පළාත් මන්ත්‍රීවරුන් 33 කට තම මන්ත්‍රී ධුර අහිමිවී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙකු, එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 6 දෙනෙකු, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ද ඊට ඇතුළත්.

වයඹ පළාත් සභාවේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පසුගිය පළාත් සභාවේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු මෙවර පළාත් සභාවට තේරීපත් වී නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරඟ වැදුණු අපේක්ෂකයන් තිදෙනෙකුට මෙවර පළාත් සභා වරම අහිමිවී තිබෙනවා. එමෙන්ම, මුස්ලිම් කොංග්‍රසයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් තරඟ වැදුණු අපේක්ෂකයින් දෙදෙනෙකුට ද පළාත් සභා වරම් අහිමි වුණා.

වයඹ පළාත් සභාව සඳහා පුත්තලම දිස්ත්‍රික්කයෙන් පසුගිය පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට ද, තම මන්ත්‍රී ධුර මෙවර අහිමිවී තිබෙනවා. මෙසේ මන්ත්‍රීධුර අහිමිවූ මන්ත්‍රීවරුන් 6 දෙනාම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් සිටි මන්ත්‍රීවරුන්. ඒ අතර, මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පසුගිය පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර පසුව රජයට එක්ව සිටි අය වීම ද විශේෂත්වයක්.

මධ්‍යම පළාත් සභාවේ, මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත් සභාවට තරඟ වැදුණු පසුගිය පළාත් සභාවේ සිටි මන්ත්‍රීවරුන් 11 දෙනෙකුට පළාත් සභා වරම් හිමිවී නැහැ. ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයන් තුන් දෙනෙකු ද ඇතුළත්. එජාපයෙන් මන්ත්‍රී ධුර අහිමිවූවන් අතර හිටපු පළාත් සභා මන්ත්‍රීනි ශාන්තිනි කෝන්ගහගේ ද වනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් තරග වැදුණු එස්.එම්.එම් මර්ජාන් නමැති මන්ත්‍රීවරයාට ද මෙවර පළාත් සභා වරම අහිමිවුණා. එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත්ව සන්ධානයට එක්වූ එම්.ආර්.එම් හම්ජාඞ් ද පළාත් සභාවට තේරී පත්වූයේ නැහැ.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදුණු අපේක්ෂකයින් 4 දෙනෙකු මෙවර පළාත් සභා මැතිවරණයෙන් පරාජයට පත්වී තිබෙනවා. ඊට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායකගේ සොහොයුරෙකු වන සාලිය දිසානායක ද ඇතුළත්. එක්සත් ජාතික පක්ෂයේ ගියවර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස සිටි ඞී.එම්.එම් පියසිරි නමැත්තා ද මෙවර පළාත් සභාව අහිමිවී තිබෙනවා. මාතලේ දිස්ත්‍රික්කයෙන් ද මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට මෙවර පළාත් සභාව අහිමිවී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දෙදෙනෙකු සහ එක්සත් ජාතක පක්ෂයෙන් එක් අයෙකු ඊට ඇතුළත්.


මේ අතර, ගුරුවරියක දණ ගැස්සවූ බවට චෝදනා එල්ලවූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරගේ ඥාති පුත්‍රයා මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වුණා. හිටපු මන්ත්‍රීවරයා නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවෙන් තරඟ වැදුනේ නිලන්ත විමලසිරි අපේක්ෂකයායි. ඔහු ආනන්ද සරත් කුමාර හිටපු මන්ත්‍රීවරයාගේ වැඩිමහල් සොහොයුරියගේ පුත්‍රයා වනවා. ඒ අනුව මෙවර පුත්තලම දිස්ත්‍රික්කයෙන් නිලන්ත විමලසිරිට ලබාගත හැකිවූයේ මනාප ඡුන්ද 11 727 ක් පමණයි.   ඔහු මනාප ලැයිස්තුවේ 15 වැනියා බවට පත්ව තිබෙනවා. මෙවර සන්ධානයෙන් අපේක්ෂකයන් 19ක් පුත්තලම දිස්ත්‍රික්කය වෙනුවෙන් තරඟ වැදුනා. ඉන් පළාත් සභාවට තේරී පත්වූයේ 9දෙනෙකු පමණයි. ගුරුවරිය දණ ගැස්සවූ බවට චෝදනා එල්ලවූ හිටපු පළාත් මන්ත්‍රී ආනන්ද සරත් කුමාර 2009 පළාත් සභා මැතිවරණයෙන් මනාප ඡුන්ද 13 605 ක් ලබාගනිමින් සන්ධාන ලැයිස්තුවෙන් අවසන් මන්ත්‍රීවරයා ලෙස තේරී පත්වුණා.