උතුරේ නව නායකත්වයට සහාය දෙන්න. - ඇමරිකාව ඉල්ලයි.

Tuesday, 24 September 2013 - 12:45

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

උතුරේ නව සිවිල් පාලනය සඳහා පූර්ණ සහාය ලබාදෙන ලෙස ඇමරිකා එක්සත් ජනපදය ලක් රජයෙන් ඉල්ලීමක් කළා. ජනතාව සිය අපේක්ෂාවන්ට අනුව පළාත් සභාවල නියෝජිතයන් තෝරා පත් කරගෙන තිබෙනවා. ඒවායේ ප්‍රාදේශීය පාලන යන්ත්‍රයන් පිහිටුවිය යුතුයි. අදාළ පළාත්වල නව සිවිල් නායකත්වයට රජයේ සහාය හිමි විය යුතු බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා ජෙන් පැස්කි ප්‍රකාශ කළා.

එමෙන්ම මෙය ලක් රජයට සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවස්ථාවක්. උතුරු පළාත් සභාවේ නව පරිපාලනය සමඟ එක්ව ඒ සඳහා කටයුතු කිරීම රජයේ වගකීමක් බවයි රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළේ. දශක ගණනාවක සිවිල් යුද්ධයේ නිමාවෙන් පසු උතුරේ පැවැති ප්‍රථම මැතිවරණය ඓතිහාසික වැදගත්කමකින් යුක්ත බවත් ඇය අවධාරණය කළා.

උතුරේ ඡන්ද විමසීම පැවැති දිස්ත්‍රික්ක පහේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 67.52ක අගයක් ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් බව පොදුරාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායම පවසනවා. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින්ට සපයා දී තිබූ පහසුකම් පිළිබදව සෑහීමකට පත්වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායම පසුගිය සැප්තැම්බර් 17 වන දා සිට 21 වන දා දක්වා කාලය තුළ පළාත් සභා ඡන්ද විමසීමවලට අදාළව සකස් කළ වාර්තාව ඉදිරි දින කිහිපය තුළ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා වෙත භාරදීමට නියමිතයි.

මේ අතර, කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වූ දකුණු ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානී හිටපු ඉන්දීය මැතිවරණ කොමිසමේ ප්‍රධානී එම්. ගෝපාලස්වාමි කියා සිටියේ ඡන්ද විමසීමේ සමස්ත ක්‍රියාදාමය පිළිබද තෘප්තිමත් විය හැකි බවයි.