TNA පක්ෂ අතර එකඟතාවක්. - අමාත්‍ය ධුරවල දිවුරුම්දීම 11.

Sunday, 06 October 2013 - 19:00

TNA+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+11.

උතුරු පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන 11 වැනිදා යාපනයේදී සිදුකිරීමට තීරණය කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එමෙන්ම ඇමතිවරුන් ලෙස පත් කෙරෙන මහජන නියෝජිතයන් කවුරුන්ද යන්න ලබන 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් එකඟතාවයකට පැමිණ තිබෙනවා. එහිදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂවලට සාධාරණ ක්‍රමවේදයක් අනුව අමාත්‍ය ධුර ලබාදීම පිළිබදව එකඟතාවයක් පළවී ඇති බවද දෙමළ ජාතික සන්ධාන අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කළා. උතුරු පළාත් සභාව සඳහා අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයන් අතර සාකච්ඡා වට කිහිපයක් පසුගියදා පැවැත්වුණා. ඉන් අවසන් සාකච්ඡාව පැවැත්වුණේ ඊයේ පස්වරුවේයි.

මේ අතර, උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස සී.වී. විග්නේෂ්වරන් හෙට (07) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි. එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල නායකයන්ට සහ නියෝජිතයන්ට ආරාධනා කර ඇති බව සඳහන්. එහෙත් දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් දේශපාලන පක්ෂ සිය සහභාගීත්වය මේ වනතුරු තහවුරු කර නැහැ.


මේ අතර කලින් ඇතිකරගත් එකඟතාවය අනුව කොන්දේසි විරහිතව ප්‍රධාන අමාත්‍ය ධුරය සී.වී. විග්නේෂ්වරන්ට ලබාදුන් පරිදිම අමාත්‍ය ධුර පිරිනැමීමේදී ද සාධාරණයක් ඉටුවිය යුතු බව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂයක් වන ටෙලෝ සංවිධානය පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කළේ අමාත්‍ය ධුර පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයා ගනු ලබන තීරණය පිළිබදව තමන් විමසිල්ලෙන් පසුවන බවයි.