UPDATE: වීඩියෝ : උතුරු මහඇමති ධුරයේ වැඩ භාර ගනී.

Monday, 07 October 2013 - 7:55

UPDATE%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

උතුරු පළාත් මහඇමති සී.වී.විග්නේෂ්වරන් අද එම ධුරයේ වැඩභාර ගනු ලැබුවා. ඒ යාපනයේ කෝවිල් වීථියේ පිහිටි මහඇමති කාර්යාලයේදීයි. ඉන් අනතුරුව, මහඇමතිවරයා තමාට අයත් අමාත්‍යාංශවල නිරීක්ෂණ චාරිකාවකට ද එක්ව තිබෙනවා. මේ අතර, උතුරු පළාත් ඇමතිවරු නම් කර ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අප දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ අද රාත්‍රියේ හෝ හෙට පෙරවරුවේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බවයි. කෙසේ වෙතත්, උතුරු පළාත් අමාත්‍යවරුන් මේ මස 11 වැනිදා දිවුරුම්දීමට නියමිතයි.

යාවත්කාලීන කිරීම  2013 ඔක්තෝබර් 09 බදාදා- පෙරවරු 11:10

-----------------------------------------------------

උතුරේ මහ ඇමති ලෙස විග්නේෂ්වරන් දිවුරුම් දෙයි.

 

උතුරු පළාත් සභාවේ මහඇමතිවරයා ලෙස සී.වී. විග්නේෂ්වරන් අද (07) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේදීයි. උතුර පළාත් සභාවේ පළමු මහ ඇමතිවරයා වන්නේ ද මොහුයි. උතුරු පළාත් මහ ඇමතිවරයා සිය දිවුරුම් දීම සිදුකර ඇත්තේ දෙමළ භාෂාවෙන් වීමද විශේෂත්වයක්.

අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ, අමාත්‍යවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, ඩග්ලස් දේවානන්දා, රාවුෆ් හකීම්, වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී. දිගම්බරම්, ප්‍රභා ගනේෂන්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග සහ උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මෙම අවස්ථාවට එක්ව සිටියා.

දිවුරුම් දෙන අවස්ථාවට සහභාගිවීම සඳහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂවල නායකයින්ට සහ එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබුණා. එහෙත් එම අවස්ථාවට සහභාගි වී සිටියේ දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන්, අප්පාතුරෙයි විනයාගමූර්ති සහ ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් පමණයි. මෙවර පළාත් සභාවට තරඟ කර පරාජයට පත්වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී වෙත මේ සඳහා සහභාගි වන ලෙස ආරාධනාවක් කර නොතිබූ බවද වාර්තාවුණා.

මේ අතර දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ඉන්දියාවේ පළවන ද හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සඳහන් කර ඇත්තේ උතුරේ ස්වයං පාලනයක් ඇතිකිරීම සඳහා ඉන්දියාවේ සහය අවශ්‍ය කරන බවයි. උතුරේ යුද්ධය හේතුවෙන් විනාශ වූ දේපළ නැවත ගොඩනැංවීම සඳහා ව්‍යාපෘතියක් දියත් කළයුතු බවද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දී තිබෙනවා. ජාත්‍යන්තරය විසින් ශ්‍රී ලංකා රජයට උතුරේ සංවර්ධන ක්‍රියාවලිය සිදුකරන ලෙස බලපෑම් කළයුතු බවයි මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා එම පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ. උතුරේ සංවර්ධනය සඳහා අවශ්‍ය කරන මුදල් ලබාගැනීමට නීතියක් සැකසිය යුතු බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා ධීවර ගැටළුව සම්බන්ධයෙන්ද අදහස් පළකළා. දෙරට අතර පවතින ධීවර ගැටළුව විසඳාගැනීම සඳහා දෙපාර්ශවයේම මැදිහත්වීම අවශ්‍ය බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

පෙර පුවත 2013 ඔක්තෝබර් 07 සඳුදා- පස්වරු 12:39

--------------------------------------------------------------------------------

උතුරේ මහඇමති විග්නේෂ්වරන් දිවුරුම් දෙයි.

පෙර පුවත 2013 ඔක්තෝබර් 07 සඳුදා- පෙරවරු 09:38


උතුරු පළාත් සභාවේ මහඇමතිවරයා ලෙස සී.වී. විග්නේෂ්වරන් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

 

 

--------------------------------------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 07 සඳුදා- පෙරවරු 07:55

 

විග්නේෂ්වරන් අද දිවුරුම් දෙයි. - පාර්ශව කිහිපයකින් විරෝධය.

 

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සී.වී.විග්නේෂ්වරන් අද (07) ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම්දීමට නියමිතයි. අද පෙරවරු 9 ට අරලියගහ මන්දිරයේදී මෙම දිවුරුම්දී සිදුකිරීමටයි නියමිතව ඇත්තේ. පසුගිය පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාත් සභාවේ වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකර ගත් සී.වී.විග්නේෂ්වරන් පසුගියදා මහඇමතිවරයා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ.චන්ද්‍රසිරි අතින් සිය පත්වීම ලබා ගත්තා.

අනතුරුව, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අතර පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සී.වී.විග්නේෂ්වරන් ජනපති ඉදිරියේ දිවුරුම් දිය යුතු බවට තීරණය වුණා.
 
මේ අතර, අද සිදුවන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ දිවුරුම්දීමේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ට සහ නියෝජිතයන්ට ආරාධනා ලැබී තිබෙනවා. කෙසේ වුවත්, පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ නායකයන් අතර පැවති සාකච්ඡාවේදී ප්‍රධාන අමාත්‍යවරයා ජනපති ඉදිරියේ දිවුරුම්දීම පාර්ශව කිහිපයක් විරෝධය පළ කර තිබුණා. ඒ අනුව, එම විරෝධය පළ කළ පාර්ශව අද දිනයේ ප්‍රධාන අමාත්‍යවරයා දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගි නොවනු ඇති බවයි වාර්තා වන්නේ.  අද සිදුකෙරෙන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ දිවුරුම්දීමේ අවස්ථාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අදහස් දක්වමින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ජනාධිපතිවරයා ඉදිරියේ මහඇමතිවරයා අද දිවුරුම් දෙන බවයි. ඒ අනුව, මහඇමතිවරයා විසින් ඉදිරියේදී පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය නම් කිරීමට නියමිත බව ද දෙමළ සන්ධානයේ නායකයා කියා සිටියා.