UPDATE : වීඩියෝ: කැනඩාව පොදුරද සමුළුව වර්ජනය කිරීම ඵල රහිතලූ.

Monday, 07 October 2013 - 18:59

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B5%E0%B6%BD+%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BD%E0%B7%96.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කිරීමෙන් මෙරට දෙමළ ජනතාවට කිසිඳු යහපතක් අත්නොවන බව කැනඩාවේ ජාතික පුවත්පතක් සිය කතුවැකියෙන් පෙන්වා දෙනවා. නොවැම්බරයේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන බව මෙතෙක් ප්‍රකාශ කර ඇත්තේ කැනඩා අගමැති ස්ටීවන් හාපර් පමණයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පසුවන ඔහු කියා සිටියේ පොදුරාජ්‍ය මණ්ඩලය වෙත සිදුකෙරෙන කැනේඩියානු මූල්‍යාධාර පිළිබදව ද යළි සලකා බැලෙන බවයි. කෙසේ නමුත් කැනඩාවේ ටොරොන්ටෝ ස්ටාර් පුවත්පත සිය කතුවැකියෙන් පෙන්වා දෙන්නේ සමුළුව වර්ජනය කිරීම සඳහා ගනු ලැබූ තීරණය හේතුවෙන් හුදෙකලා වන්නේ ශ්‍රී ලංකාව නොව කැනඩාව බවයි.

 

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය මුළුමනින්ම අනුමත නොකරන අනෙකුත් රාජ්‍ය නායකයන්ගේ ස්ථාවරය වී ඇත්තේ සමුළුවට සහභාගි වී වෙනසක් ඇති කිරීම සඳහා ලක්රජය පෙළඹවීමයි. ශ්‍රී ලංකාවේ වගවීම් සහ මානව හිමිකම් තත්ත්වය විවේචනය කරන කැනඩාවට අගමැති හාපර්ගේ තීරණය නිසා එම අවස්ථාව අහිමි වන බව ටොරොන්ටෝ ස්ටාර් පුවත්පත පෙන්වා දෙනවා.

 

කැනේඩියානු අගමැතිවරයාගේ තීරණය උතුරු පළාතේ මහඇමතිවරයා ලෙස තේරී පත්වූ සී.වී. විග්නේෂ්වරන්ගේ අපේක්ෂාවන්ට ද පටහැනි බව පුවත්පත වැඩිදුරටත් සදහන් කළා. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට වැඩි බලතල සහ ගෞරවනීයත්වයක් ලබා ගැනීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයන් සමුළුවට පැමිණීම වැදගත් වන බව මැතිවරණ ජයග්‍රහණයෙන් පසු විග්නේෂ්වරන් ප්‍රකාශ කළා.

 


මේ අතර, සයිප්‍රස් ජනපති නිකොස් ඇනස්ටසියාඩෙස් ලබන නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නොබැදි රාජ්‍ය නායක සමුළුවට පැමිණීම සහතික කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් නිකොසියා නුවර ජනාධිපති මන්දිරයේ දී සයිප්‍රස් ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව සහ සයිප්‍රසය අතර රාජතාන්ත්‍රික සබඳතාවලට 15 වසරක් සපිරෙන අවස්ථාවේදීයි මෙම හමුව සිදුව ඇත්තේ. ශ්‍රී ලංකාව සහ සයිප්‍රසය අතර නිදහස් බඳු ගිවිසුමක් ඇති කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්.

යාවත්කාලීන කිරීම පුවත 2013 ඔක්තෝබර් 08 අඟහරුවාදා - පස්වරු 12:52

------------------------------------------------------------------------

පොදුරඳමඩුලූ සමුළුවට එන්නේ නැහැ. - කැනඩා අගමැති.

පෙර පුවත 2013 ඔක්තෝබර් 07 සඳුදා- පස්වරු 06:59

 

ලබන නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට තමන් සහභාගි නොවන බව කැනඩා අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් පවසනවා. ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවැත්වෙන ආසියානු පැසිෆික් රාජ්‍ය නායක සමුළුව අතරතුර මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ. ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් කඩවීම සහ ජාත්‍යන්තර මානව හිමිකම් නිර්නායකයන්ට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් තමන් මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන බවයි කැනඩා අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ.

එම සමුළුවට සහභාගි වී සිටින  ඕස්ට්‍රේලියානු අග්‍රමාත්‍ය ටෝනි ඇබොට් කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට එම ස්ථානයේදීම ප්‍රතිචාර දක්වමින් පැවසුවේ කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණය තමන් අනුගමනය නොකරන බවයි. කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට තමන් සහභාගිවන බව ද  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. 
 
මේ අතර, කොළඹ අද (07) පැවැති මාධ්‍ය හමුවකදී ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන් ද අදහස් පළ කර සිටියා. ඔහු එහිදී කියා සිටියේ අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංගේ සහභාගීත්වය ඉදිරියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනය කරන බවයි.