උතුරේ ඇමතිවරුන් නම් කිරීමත් සමඟ දෙමළ සන්ධානයේ යළි අර්බුද.

Thursday, 10 October 2013 - 19:27

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF.

හෙට පැවැත්වෙන උතුරු පළාත් අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය වර්ජනය කිරීමට දෙමළ සන්ධානයේ පක්ෂ කිහිපයක් සූදානම් වනවා. ඒ අමාත්‍යවරුන් පත් කිරීම සම්බන්ධයෙන් මතුවී ඇති අර්බුදකාරි තත්ත්වය හේතුවෙන්. දිවුරුම්දීමේ උත්සවය හෙට (11) යාපනයේදී පැවැත්වෙන අතර අමාත්‍යවරුන් දිවුරුම්දීම සිදුවන්නේ පළාත් මහඇමති සී.වී.විග්නේෂ්වරන් ඉදිරියේයි.

දෙමළ සන්ධානය පක්ෂ 5 කින් සැදුම් ලබන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් නායකත්වය දරන තමිල් අරුසු පක්ෂය, ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට් සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ එම පක්ෂ වනවා. කෙසේ වෙතත්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, උතුරු පළාත් සභාව සඳහා පත් කෙරෙන අමාත්‍යවරුන්ගේ නාම ලේඛණය පළාත් ආණ්ඩුකාරවරයා වෙත අද භාර දී තිබෙනවා.

පළාත් සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් 4 දෙනෙකුගේ නම් එමගින් ඉදිරිපත් කර ඇති අතර, දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ තමිල්අරසු පක්ෂයට ඇමති ධුර දෙකක්ද දෙමළ සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර්.එල්.එෆ්. සහ ටෙලෝ සංවිධානයට අමාත්‍ය ධුර එක බැගින් පිරිනමා ඇති බවයි දෙමළ සන්ධානයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අනුව, තමිල් අරුසු පක්ෂයෙන් කිලිනොච්චිය සහ වව්නියා දිස්ත්‍රික්කයන් සඳහා තේරී පත් වූ  ටී. කුරුකුලරාජා සහ පී. සත්‍යලිංගම්ගේ නම් යෝජනා කර තිබෙනවා. ටෙලෝ සංවිධානයෙන් මන්නාරම් දිස්ත්‍රික්කය සඳහා තේරී පත්වූ පී. අයින්ගරනේෂන් සහ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ බී. ධනීෂ්වරන් යන මන්ත්‍රීවරුන්ගේ නම් අමාත්‍යධුර සඳහා යෝජනා කර ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත්, යාපනයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, පළාත් ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ තමන් යෝජනා කළ මන්ත්‍රීවරුන්ගේ නම් නොවන බවයි. මේ නිසා අද පස්වරුවේ රැස්වී හෙට පැවැත්වෙන දිවුරුම්දීමේ උත්සවයට සහභාගිවීම සම්බන්ධයෙන් ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය තීරණයක් ගන්නා බව ඔහු කියා සිටියා.

ටෙලෝ සංවිධානය වෙත පිරිනමා තිබූ අමාත්‍ය ධුරය සඳහා ඔවුන් යෝජනා කර තිබුණේ මෙවර පළාත් සභාවට තරඟ කර ජයගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්ගේ නමයි. කෙසේ වෙතත්, වෙනත් පුද්ගලයෙකු ඊට පත් කර ඇති නිසා අද පස්වරුවේ රැස්වී හෙට පැවැත්වෙන දිවුරුම්දීමේ උත්සවයට සහභාගිවීම සම්බන්ධයෙන් ටෙලෝ සංවිධානය අවසන් තීරණයක් ගන්නා බවයි එම්.කේ.සිවාජිලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. 

ප්ලොට් සංවිධානය වෙත අමාත්‍ය ධුරයක් පිරිනමා නොමැති අතර, ඒ සම්බන්ධයෙන් අප එහි නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්ගෙන් විමසීමක් කළා. මෙවර ඡන්ද විමසීමේදී ප්ලොට් සංවිධානයට මන්ත්‍රී ධුර 3 ක් පමණක් හිමිවී තිබෙන නිසා, අමාත්‍ය ධුරයක් පිරිනැමීම දෙමළ සන්ධානයේ නායකයා ප්‍රතික්ෂේප කළ බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත්, පළාත් සභාවේ සභාපති ධුරය පිරිනැමීමට ඔහු යෝජනා කළත්, එම යෝජනාව තමන් ප්‍රතික්ෂේප කළ බව ධර්මලිංගම් සිද්ධාර්ථන් ප්‍රකාශ කළා.

මේ අතර, හින්දු පුවත්පත සිය කතුවැකියෙන් ප්‍රකාශ කළේ උතුරු පළාත් සභාවේ පාලන බලය හිමි කර ගත් දෙමළ ජාතික සන්ධානය දැවැන්ත අභියෝගයකට මුහුණ දෙන බවයි. පරිපාලනය පිළිබඳ පළපුරුද්දක් නොමැති ඔවුන්ට ප්‍රායෝගික දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනු ඇති බවයි එමගින් පෙන්වා දෙන්නේ. සැලසුම් සහගත ක්‍රමෝපාය දියත් කිරීමෙන් තොරව දෙමළ සන්ධානයට උතුරේ සාර්ථකත්වයක් අත් කර ගැනීම දුෂ්කර බව හින්දු පුවත්පත සඳහන් කළා.