UPDATE : මිනුවන්ගොඩ සිද්ධියේ සැකකරුවන් සොයා මෙහෙයුම්.

Monday, 14 October 2013 - 8:15

UPDATE+%3A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

මිනුවන්ගොඩ - හොරන්පැල්ල - යකහටුව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ (13) රාත්‍රී 7.45 ට පමණ සැකකරුවන් සිදුකළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ යකහටුව ප්‍රදේශයේම පදිංචි 58 හැවිරිදි දෙදරු පියෙක්. ඔහු සිය නිවස ආසන්නයේ පිහිටි මාර්ගයේ රැදී සිටියදී යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනා මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ අතර, මාර්ගයේ ගමන් ගනිමින් සිටි පුද්ගලයෙකුගේ යතුරුපැදියක් රැගෙන ඔවුන් පලාගොස් තිබුණා.

වෙඩි තැබීම සිදුකිරීමට පැමිණි යතුරුපැදිය මහමග දමා ගොස් තිබියදී පොලිසිය සොයා ගත් අතර, එම යතුරුපැදිය හිමි පුද්ගලයාගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ ගමනක් යාමට අවශ්‍ය බව පවසා සැකකරුවන් ඊයේ පස්වරුවේ මෙම යතුරුපැදිය රැගෙන ගොස් ඇති බවයි. ජීවිතක්ෂයට පත්වූ ව්‍යාපාරිකයා මුදල් පොලියට ලබාදී ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. ව්‍යාපාර කටයුත්තක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක කරනවා. සැකකරුවන් මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් මේ වනවිට ප්‍රදේශය අතහැර පලාගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා. මොවුන් මීට පෙර මීරිගම ප්‍රදේශයේ සිදුවූ මුදල් කොල්ලයකට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේ.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 14 සඳුදා- පස්වරු 01:09

---------------------------------------------------------------------------

වෙඩිතැබීමකින් ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට.

පෙර පුවත 2013 ඔක්තෝබර් 14 සඳුදා- පෙරවරු 08:15

මිනුවන්ගොඩ - යකහටුව - හොරම්පැල්ල ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් 59 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මියගිය ව්‍යාපාරිකයා නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි එම පුද්ගලයන් දෙදෙනා වෙඩි තබා පළාගොස් ඇති බවයි. එහිදී සැකකරුවන් පැමිණි යතුරුපැදිය මාර්ගයේ අතහැරදමා ගමන් කරමින් තිබූ වෙනත් යතුරුපැදියක් පැහැරගෙන පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ නන්දන කුමාරසිරි රාමනායක නැමති ව්‍යාපාරිකයෙක්.