UPDATE : වීඩියෝ: පොලීසියට භාරවූ කොළඹ එජාප නාගරික මන්ත්‍රීට ඇප.

Monday, 14 October 2013 - 12:41

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4.



එක්සත් ජාතික පක්ෂ මාතර ගැටුම සම්බන්ධයෙන් අද පොලීසියට භාරවූ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී නීතීඥ නදිල් මාලගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප ලබාදී තිබෙනවා. රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මොහු මුදාහැරීමටයි මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. මේ මස 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසටද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියම කළා. මාතර ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට 40 ක් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අතර තවත් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටිනවා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා- පෙරවරු 01:14

-----------------------------------------------------------------------

මාතර සිද්ධියේ තවත් සැකකරුවෙකු භාරවෙයි.

පෙර පුවත 2013 ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා- පෙරවරු 12:50

පසුගිය ඔක්තෝම්බර් 5 වැනිදා මාතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අද (17) මාතර පොලීසියට භාරවී තිබෙනවා. මෙලෙස භාරවී ඇත්තේ කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රි, නීතීඥ නදිල් මාලගොඩයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්. විමලසිරි මෙන්ම බලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතීඥ කමල් ජයන්ත ද සොයිසා භාරවුණා. මංගල සමරවීර මන්ත්‍රිවරයා ඇතුලූ ඔවුන් තිදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් අද භාරවූ නීතීඥ නදිල් මාලගොඩගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර ඔහු මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරන බවයි මාතර පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කලේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 40 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා. එමෙන්ම මාතර ගැටුම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බවයි මාතර පොලීසිය සඳහන් කළේ.

 

---------------------------------------------------------------------------------

මංගල සමරවීර ඇප මත මුදාහැරේ.

පෙර පුවත 2013 ඔක්තෝබර් 15 අඟහරුවාදා - පස්වරු 07:07

පසුගිය 5 වන දා මාතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මාතර පොලීසියට අද (15) දින භාර වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ඇතුළු සැකකරුවන් තිදෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළා.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව පැවැති පෙළපාලිය අවස්ථාවේදී අයුතු ජන රාශියකට අනුබල දීම, පුද්ගලයන්ට පහරදී අනර්ථයක් සිදුකිරීම සහ වාහනවලට පහරදීම සම්බන්ධයෙන් වන චෝදනාව යටතේ පොලීසිය විසින් අධිකරණය හමුවේ නඩු දෙකක් අද ගොනුකරනු ලැබුවා. ඒ, දෙවිනුවර සහ මාතරදී ඇතිවූ සිද්ධීන් දෙක පදනම් කරගනිමින්. මීට අමතරව ශබ්ද විකාශන යන්ත්‍ර දෙකක් කොල්ල කෑම සම්බන්ධයෙන්ද මංගල සමරවීර මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන්ට චෝදනා කරමින් තවත් නඩුවක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පොලීසිය විසින් අද ගොනුකර තිබෙනවා. මෙම චෝදනා සම්බන්ධයෙන් පොලීසියට භාරවූ මංගල සමරවීර මන්ත්‍රීවරයා ඇතුලූ තවත් පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන අද (15) අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර නියෝග කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ඇතුලූ සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදාහැරීමටයි. සෙසු සැකකරුවන් හයදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ද මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරට අමතරව ඇප මත මුදා හැරුනේ දෙවිනුවර එක්සත් ජාතික පක්ෂ සංවිධායක එච්.ආර්. විමලසිරි සහ බලපිටිය සංවිධායක කමල් ජයන්ත සොයිසායි. මෙම සැකකරුවන් තිදෙනාටද ලබන මස 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මේ අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහද මංගල සමරවීර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් සිදුකළා. ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. විපක්ෂ නායකවරයා එහිදී පෙන්වා දුන්නේ මංගල සමරවීර මන්ත්‍රීවරයාට දේශපාලන බලපෑම් මත මෙවැනි දේ සිදුකරන බවයි.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 15 අඟහරුවාදා - පස්වරු 07:07

--------------------------------------------------------------------------

මංගල සමරවීර ඇප මත මුදා හැරේ.

පෙර පුවත 2013 ඔක්තෝබර් 15 අඟහරුවාදා - පස්වරු 03:30

පසුගිය 5 වන දා මාතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මාතර පොලීසියට අද (15) දින භාර වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ඇතුළු සැකකරුවන්  තිදෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළා.  මංගල සමරවීර මන්ත්‍රීවරයා ඇතුළු තවත් පුද්ගලයින් 8 දෙනෙකු අද උදෑසන මාතර පොලිසීයට බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තා. ඉන්පසුව මංගල සමරවීර මන්ත්‍රීවරයා ඇතුලූ පුද්ගලයින් තිදෙනෙකු  පොලීසිය විසින් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත්කළේ.

  

-------------------------------------------------------------------------------

මංගල සමරවීර පොලිස් අත්අඩංගුවට.

පෙර පුවත 2013 ඔක්තෝබර් 15 අඟහරුවාදා - පස්වරු 12:49

පසුගිය 5 වන දා මාතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මාතර පොලීසියට අද (15) දින භාර වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළා. මංගල සමරවීර මන්ත්‍රීවරයා ඇතුළු 11 දෙනෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ඇත්නම් අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා. ඒ අනුව අද (15) උදෑසන 9.15ට පමණ මාතර පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුවයි මංගල සමරවීර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඉන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ දෙවිනුවර සංවිධායක එච්.ආර්. විමලසිරි බලපිටිය එම පක්ෂ සංවිධායක කමල් ජයන්ත සොයිසා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු පොලීසියට භාර වී තිබෙනවා.

මේ වන විට පසුගියදා මාතර දී ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කර ගන්නා බවයි ඔහුගේ නීතිඥ නිශ්ශංක නානායක්කාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මංගල සමරවීර මන්ත්‍රීවරයාට එරෙහිව පොලීසිය විසින් ඉදිරිපත් කර ඇති චෝදනාව වන්නේ අයුතු ජන රාශියට අනුබල දීම සහ ශබ්ද විකාශන යන්ත්‍ර දෙකක් මංකොල්ලකෑම බවයි නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ.
 
අත්අඩංගුවට ගත් මංගල සමරවීර මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අද (15) දිනයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියා.

 

------------------------------------------------------------------------

එජාප මන්ත්‍රී මංගල සමරවීර මාතර පොලීසියට භාර වෙයි.

 

එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන අංශ ප්‍රධානී සහ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අද (15) උදෑසන 9.15ට පමණ මාතර පොලීසිය වෙත භාර වුණා. මාතර දී පසුගිය දා පැවැති පෙළපාලියකදී ඇති වූ ගැටුමක් සම්බන්ධයෙනුයි ඔහු එලෙස පොලීසිය වෙත භාර වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් පොලීසිය වෙත නියෝග කර තිබුණා. ඉන් අනතුරුවයි මන්ත්‍රීවරයා මෙලෙස පොලීසිය වෙත භාර වූයේ.

පෙර පුවත 2013 ඔක්තෝබර් 15 අඟහරුවාදා - පෙරවරු 9:26

------------------------------------------------------------------------

මංගල සමරවීරට පොලීසියට එන්නැයි ලිපියක්.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරට අද උදෑසන 10.30ට මාතර මූලස්ථාන පොලීසිය වෙත පැමිණෙන ලෙස ඊයේ (14) පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුගේ නිවසට ලිපියක් භාර දී තිබෙනවා. ඒ, දැනට සිදුකෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බවයි එම ලිපියේ සදහන්ව ඇත්තේ.

පෙර පුවත 2013 ඔක්තෝබර් 15 අඟහරුවාදා - පෙරවරු 08:36

------------------------------------------------------------------------

මංගල සමරවීර හෙට පොලීසියට භාර වෙයි.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළා. ඒ, පසුගිය 5 වන දා මාතර දී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් වන නඩුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර හමුවේ අද කැදවූ අවස්ථාවේදියි. මෙම 11 දෙනා අතරට විපක්ෂ නායකවරයාගේ පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්. විමලසිරි ඇතුළත් වනවා.

මීට පෙර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එක්සත් ජාතික පාක්ෂිකයින් 33 දෙනෙකු යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (14) හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණා. එහිදී සාක්ෂිකරුවන් දෙදෙනෙකු විසින් සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගත් අතර, සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කර තිබුණේ පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයෙකු සහ තවත් පුද්ගලයෙකුයි. ඔවුන් විසින් සැකකරුවන් වන මාතර මහනගර සභාවේ නාගරික මන්ත්‍රී නුස්කි මොහොමඞ් සහ එම නගර සභාවේම සේවකයෙකු පෙරට්ටුවේදී හඳුනා ගෙන තිබෙනවා.   

සැකකරුවන් යළි හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් සියලූ දෙනා මේ මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. කෙසේ වෙතත්, සැකකාර හර්මන් ගුණරත්න නැමැත්තා අද (14) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීට පෙර අධිකරණය නියෝග කර තිබුණත් ඔහු අද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ නැහැ.

බන්ධනාගාර නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේ මොහු තවදුරටත් ප්‍රතිකාර ලබන බැවින් අද (14) දිනයේ ඉදිරිපත් නොකළ බවයි. කෙසේ වෙතත්, මෙහිදී මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ පාර්ශවයේ නීතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු බන්ධනාගාරගතව සිටියදී මාධ්‍ය වෙත සාකච්ඡා ලබා දී ඇති බවයි.

පසුගිය 5 වන දා මාතර නගරයේ ඇති වූ ගැටුමට සම්බන්ධ තවත් සැකකරුවෙකු පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම පුද්ගලයා ද මේ මස 21 දක්වා මාතර මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලීසිය අධිකරණය වෙත තවදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිදුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ඇතුළු තවත් සැකකරුවන්11 දෙනෙකු  සම්බන්ධ බවට සාක්ෂි පවතින බවයි. එලෙස සාක්ෂි පවතින්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව මංගල සමරවීර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශ්ශංක නානායක්කාර කියා සිටියා.
 
අධිකරණය ලබාදුන් නියෝගයට අනුව හෙට (15) දිනයේ දී තමන් මාතර පොලීසිය වෙත පැමිණෙන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අද (14) පස්වරුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ප්‍රකාශ කළේ.

 

පෙර පුවත 2013 ඔක්තෝබර් 14 සඳුදා- පස්වරු 07:03

---------------------------------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 14 සඳුදා- පස්වරු 01:35

මංගල ඇතුළු 11 ක් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ඇතුළු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (14)නියෝග කර තිබෙනවා. ඒ පසුගියදා මාතර නගරයේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි. මෙහිදී පොලිසිය අධිකරණය වෙත කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ පහරදීමේ සිද්ධියට මංගල සමරවීර ඇතුළු මෙම එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් 11 දෙනෙකු සම්බන්ධ බවට සාක්ෂි පවතින බවයි. මේ නිසා එම සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීම සඳහා අවසර ලබාදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් සිසිර කුමාර අවසර ලබාදී තිබෙනවා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 14 සඳුදා- පස්වරු 01:35

---------------------------------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 14 සඳුදා- පස්වරු 01:20

මාතර සිද්ධියේ සැකකරුවන් යළිත් රිමාන්ඞ්.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව පැවැති පෙළපාලිය අවස්ථාවේදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරගේ ආධාරකරුවන් 33 දෙනා මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද (14) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් සිසිර කුමාර වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි. සැකකරුවන් අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණු අතර, එම හඳුනාගැනීමේ පෙරට්ටුව යළිත් මේ මස 21 වැනිදා ද සිදුකරන බවටයි මහේස්ත්‍රාත්වරයා නියම කළේ. මේ අතර, මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා වන හර්මන් ගුණරත්න අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. මහේ්ස්ත්‍රාත්වරයා පසුගිය 7 වැනිදා මේ සම්බන්ධයෙන් පැවති නඩු වාරයේදී සැකකාර හර්මන් ගුණරත්න අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබුණා. කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේ මොහු තවදුරටත් ප්‍රතිකාර කරන බැවින් අද දිනයේ ඉදිරිපත් නොකළ බවයි. එහෙත් ඉදිරි නඩු වාරවලදී සැකකාර හර්මන් ගුණරත්න අධිකරණයට ඉදිරිපත් කරන බව ද ඔවුන් ප්‍රකාශ කළා.

 

-----------------------------------------------------------------------------------------

මාතර සිද්ධියේ 33 ක් අද හඳුනා ගැනීමේ පෙරට්ටුවට.

පෙර පුවත 2013 ඔක්තෝබර් 14 සඳුදා- පස්වරු 12:41

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව පැවැති පෙළපාලිය අවස්ථාවේදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් 33 දෙනෙකු අද (14) හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කර තිබෙනවා. මොවුන් සියලූදෙනා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සමග පැමිණි පිරිස බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. මේ වනවිට එම සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අවස්ථා 3 ක දී ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 37 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා. මීට පෙර සැකකරුවන් 24 දෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා ඉදිරපත් කෙරුණේ පසුගිය 7 වැනිදායි. එහිදී ප්‍රමාණවත් පිරිසක් හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් අද දිනයට හඳුනාගැනීමේ පෙරට්ටුව කල් දැමීමටයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් සිසිර කුමාර තීරණය කළේ.

කෙසේ වෙතත්, අද පෙරවරුවේ සැකකරුවන් අධිකරණ භූමියට ගෙන එන අවස්ථාවේදී නඩු කටයුතු සඳහා උසාවියට පැමිණ සිටි සියලූම පුද්ගලයින් ඉන් ඉවත් කර ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.   

එමෙන්ම මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා වන හර්මන් ගුණරත්න අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. මීට පෙර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ අද දිනයට ආනිවාර්යයෙන්ම සැකකාර හර්මන් ගුණරත්න අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
 
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව පැවැති පෙළපාලිය අවස්ථාවේදී මෙම ගැටුම ඇතිවූයේ පසුගිය 5 වැනිදායි. ඉන් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයින් 8 දෙනෙකු තුවාල ලැබුවා.