වීඩියෝ: ටී.එන්.ඒ. තවත් 3 දෙනෙකු දිවුරුම් දෙයි.

Wednesday, 16 October 2013 - 19:09

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



උතුරු පළාත් සභාව සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් තේරී පත් වූ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු අද (16) වව්නියාවේදී දිවුරුම් දුන්නා. වව්නියාවේ හෝටලයකදී නීතීඥවරයෙකු ඉදිරියේ මෙම දිවුරුම්දීම සිදුකර තිබෙනවා. ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය නියෝජනය කරමින් දෙමළ ජාතික සන්ධානයට යටතේ තරඟ වැදුණු ශිවප්‍රකාශන් ශිවමෝහන්, මයිල්වාගනම් ත්‍යාගරාජා සහ කන්දයියා සර්වේශ්වරම් මෙලෙස දිවුරුම් දුන් මන්ත්‍රීවරුන් තිදෙනායි.

 

දෙමළ ජාතික සන්ධානයෙන් මෙවර උතුර පළාත් සභාවට මන්ත්‍රීවරුන් 30 දෙනෙකු තේරී පත් වුණේ ප්‍රසාද ආසන 2 ක ද සහිතවයි. ඉන් 21 දෙනෙකු පසුගිය 11 වැනිදා යාපනයේදී මහඇමති, සී.වී. විග්නේෂ්වරන් ඉදිරියේදී දිවුරුම් දුන්නා. එහෙත්, ඔවුන්ගේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු එහිදී දිවුරුම් දුන්නේ නැහැ. ඊ.පී.ආර්.එල්.එෆ්, සංවිධානයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ටෙලෝ සංවිධානයේ එම්.කේ. සිවාජිලිංගම් මන්ත්‍රීවරයා සහ ප්ලොට් සංවිධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු එම අවස්ථාව වර්ජනය කළා.

 

පසුව, ටෙලෝ සංවිධානයේ සාමාජිකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පෙරේදා මන්ත්‍රී ධුරයේ තනිවම දිවුරුම් දෙනු ලැබුවා. මුළු දිවයිනටම සාම විනිසුරුවරයෙකු වන වැල්වැටිතුරෙයි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා ඉදිරියේයි ඔහු දිවුරුම්දී තිබුණා.

 

දෙමළ ජාතික සන්ධානයෙන් මෙවර උතුරු පළාත් සභාවට තේරී පත් වූ ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් සහ එම පක්ෂයේ වව්නියාව නගර සභා මන්ත්‍රීවරයෙකුව සිටි තාමෝදරන් පිල්ලේ ලිංගනාදන් පළාත් මන්ත්‍රීවරුන් ද දිවුරුම් දුන්නේ වෙනමයි. වඩුක්කෝඬේ ප්‍රදේශයේ දී ප්ලොට් සංවිධානයේ ලේකම් සුබ්‍රමනියම් සදානන්දන් ඉදිරියේදී පෙරේදා එම දිවුරුම්දීම සිදුවුණා.

 

කෙසේ වෙතත්, තවත් මන්ත්‍රීවරයෙකු අප්‍රසිද්ධියේ මහඇමති සී.වී. විග්නේෂ්වරන් ඉදිරියේ දිවුරුම්දී ඇති බව දෙමළ සන්ධාන ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ඒ අනුව, පසුගිය 11 වැනිදා මහඇමතිවරයා ඉදිරියේ දිවුරුම් නොදුන් තවත් එක් මන්ත්‍රීවරයෙකු පමණක් දිවුරුම්දීමට ඉතිරිව සිටිනවා. කෙසේ වෙතත්, ලබන 25 වැනිදා යාපනය - කයිතඩිහි දී උතුර පළාත් සභාවේ මංගල සැසිවාරය පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී පළාත් සභාවේ අනෙකුත් තනතුරු බෙදා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

 

දෙමළ ජාතික සන්ධානය තුළ මෙම මත ගැටුම ඇතිවුණේ උතුර පළාතේ ඇමති ධුර බෙදා ගැනීමේදී ඇති වූ තත්ත්වයත් සමඟයි. ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය තම අරමුණ පිළිබඳ පමණක් සිතා කටයුතු කරන බවට ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට් සහ ටෙලෝ සංවිධානය චෝදනා කළා. මේ අතර, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් ප්‍රකාශ කළේ දෙමළ සන්ධානයේ මෙම මතභේද යලි බෙදුම්වාදය ශක්තිමත් වීමේ පෙරනිමිත්තක් බවයි.