UPDATE : වීඩියෝ : පොදුරද මඩුලූ සමුළුව වර්ජනය කරන්න කීවේ නැහැ. - කෙන්යාව.

Tuesday, 22 October 2013 - 7:48

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%93%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%80.

බ්‍රිතාන්‍යයට විරෝධය පළ කරමින් මෙරට පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කළ යුතු බවට තමන් ප්‍රකාශ නොකළ බව කෙන්යාව පවසනවා. එරට විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කළ යුතු බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි. අන්තර් ජාතික අපරාධ අධිකරණයේ නඩු විභාගවලට ලක්වන අප්‍රිකානු නායකයන් වෙනුවෙන් කිසිවක් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලය අපොහොසත් වී ඇති බව පවසමින් අප්‍රිකානු රටවල් සමුළුව වර්ජනය කළ යුතු බව කෙන්යාව ප්‍රකාශ කර ඇතැයි එරට පළ වන ස්ටාර් පුවත්පත පසුගියදා අනාවරණ කර තිබුණා. ශිං හුවා පුවත් සේවය අනාවරණය කළේ කෙන්යානු රජය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි. දැනටමත් කෙන්යානු රජයේ ඉහළ පෙලේ නියෝජිතයන් පිරිසක් මෙරට පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට සූදානමින් සිටින බව කෙන්යානු විදේශ අමාත්‍යාංශය උපුටා දක්වමින් ශිං හුවා පුවත් සේවය වැඩිදුරටත් අනාවරණය කළා.

මේ අතර, එළඹෙන නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට එක් නොවන ලෙස එරට ඇතැම් දේශපාලඥයින් ඉන්දීය මධ්‍යම රජයට බලකරද්දී ඇතැම් දේශපාලඥයින් මෙම සමුළුවට ඉන්දියාව සහභාගිවීමේ ඇති වැදගත්කම පෙන්වා දී තිබෙනවා. තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම්, නාවික කටයුතු අමාත්‍ය ජී.කේ.වාසන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාල කටයුතු පිළිබඳ අමාත්‍ය වී.නාරායන් ස්වාමි මීට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංට පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන ලෙසට බලපෑම් කර තිබුණා.

මෙම පිරිසට තමිල්නාඩුවේ හිටපු කොංග්‍රස් නායක කේ.වී.තංගබාලූ, හිටපු කොංග්‍රස් පක්ෂ මන්ත්‍රීවරයෙකු වන පීටර් අල්පෝන්සු ද එක්ව තිබෙනවා. කෙසේ වෙතත්, ඉන්දීය වෙළඳ හා වානිජ කටයුතු අමාත්‍ය සුදර්ශන නාච්චියප්පන් සඳහන් කර ඇත්තේ ඉන්දියාව පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට එක්විය යුතු බවයි. ඉන්දියාව සමුළුවට එක්වීම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය නියෝජිතයන් සහභාගි වීම වළක්වන ලෙස ඉල්ලමින් චෙන්නායි අධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව තිබෙනවා. එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට එරෙහිව මෙම පෙත්සම ගොනුකර ඇත්තේ ඇමෙරිකාව මුල් කර ගත් අන්තර්වාර දෙමළ ඊලාම් රාජ්‍ය නමැති සංවිධානය විසින්. මෙම පෙත්සම ඊයේ චෙන්නායි අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවයෙන් අසා ඇත්තේ මෙම පෙත්සම තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඉන්දියාව - චීනය, බංග්ලාදේශය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව වැනි රටවලට විරුද්ධව කටයුතු කළ යුතු ද යන්නයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධ නඩුව යළි හෙට කැඳවනවා.

 
එමෙන්ම, මෙම සමුළුව ඉන්දීය නායකයින් වර්ජනය කළ යුතු බව පවසමින් විශ්‍රාමික ඉන්දීය ආචාර්යවරියක් වන සරස්වතී කෝවින්ද රාජ් විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 23 බදාදා- පස්වරු 12:59

-------------------------------------------------------------------------------------------

කෙන්යාවෙනුත් පොදුරද මඩුලූවට බාධාවක්.

පෙර පුවත 2013 ඔක්තෝබර් 22 අඟහරුවාදා- පෙරවරු 07:48

අන්තර් ජාතික අපරාධ අධිකරණයේ නඩු විභාගවලට ලක්වන අප්‍රිකානු නායකයන් වෙනුවෙන් කිසිවක් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලය අපොහොසත් වී ඇති බව කෙන්යාව පවසනවා. මේ නිසා බ්‍රිතාන්‍ය කඳවුරට විරෝධය පළ කරමින් කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කරන ලෙස කෙන්යාව අනෙකුත් අප්‍රිකානු රටවලින්ද ඉල්ලීමක් කලා. කෙන්යාවේ පළවන ද ස්ටාර් පුවත්පත සඳහන් කළේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චෝදනාවලට ලක්ව සිටින සිය ජනාධිපති උහුරු කෙන්යාටා සහ නියෝජ්‍ය ජනාධිපති විලියම් රුටෝ වෙනුවෙන් හඩක් නැගීමට පොදුරාජ්‍ය මණ්ඩලය අපොහොසත් වී ඇති බවයි. කෙන්යාව තවදුරටත් පෙන්වා දෙන්නේ උගන්ඩාව, ටැන්සානියාව, රුවන්ඩාව, නයිජීරියාව, දකුණු අප්‍රිකාව සහ සැම්බියාව ද සිය මතයට එකග වනු ඇති බවයි.