පැකර්ගේ හෝටලයෙන් කැසිනෝ ඉවතට.

Monday, 28 October 2013 - 7:40

%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%9D+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.

ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ කැසිනෝ නොමැතිව හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම වෙනුවෙන් බදු සහන ලබාදීම සඳහා ඉදිරියේ දී නව ගැසට් පත්‍රයක් ඉදිරිපත් කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩූ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඇමරිකානු ඩොලර් මිලියන 400ක ආයෝජනයක් යටතේ කොළඹ ඞී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිකිරීමට යෝජිත හෝටල් ව්‍යාපෘතියට ඒ අනුව බදු සහන හිමි වන බවයි. එහිදී කැසිනෝ සඳහා අවස්ථාව හිමි නොවන බව ද ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා. ඉදිරි දෙමසක කාලය තුළ අදාළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
 
ඕස්ට්‍රේලියානු ජාතික ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් කැසිනෝ සමූහය විසින් සූදු ඔට්ටු ඇල්ලීමේ පහසුකම් සහිත සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියකට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුවයි ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබුණේ. කැසිනෝ සම්බන්ධයෙන් ඇති වගන්ති කිහිපයක් හේතුවෙන් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ ද ඊට විරෝධය පළ කළා. මීට අමතරව සිවිල් සංවිධාන සහ ආගමික නායකයන් ද අදාළ ගැසට් නිවේදනය විවාදයට ගැනීම සම්බන්ධයෙන් පළ කළේ විරෝධයක්. කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා රැස්වූ පක්ෂ නායක රැස්වීමේ දී මේ පිළිබදව සාකච්ඡා වී තිබූ අතර එහිදී මතුවූ අදහස් සැලකිල්ලට ගෙන අදාළ ගැසට් නිවේදනය විවාදයට ගැනීම කල් තැබුණා.