UPDATE : වීඩියෝ:ලක්ෂ 10 ක දෙදහසේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ - පොලිසිය.

Monday, 28 October 2013 - 12:59

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+10+%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA.

රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා ව්‍යාජ දෙදහසේ නෝට්ටු තවමත් සංසරණය වන බව පොලිසිය පවසනවා. එවැනි රුපියල් දෙදහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ඊයේ බේරුවල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් සොයා ගැනුණා. සොයාගත් මෙම මුදල් නෝට්ටුව මාලඹේ - පොතුඅරාව ප්‍රදේශයේ නිවසකින් සොයාගත් ව්‍යාජ මුදල් නෝට්ටුවලට සමාන බව පොලිසිය සඳහන් කළා. බේරුවල පොල්කොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් තැන්පත් කිරීම සඳහා රැගෙන එන ලද මුදල් සමඟ මෙම ව්‍යාජ මුදල් නෝට්ටුවද තිබී හමුවුණේ අදාළ රාජ්‍ය බැංකුවේ සේවකයෙකුටයි. මුදල් රැගෙන ආ පුද්ගලයා වැඩිදුර පරීක්ෂණ සඳහා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

 

පසුගියදා මාලඹේ - පොතුඅරාව ප්‍රදේශයේ නිවසකින් මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවුණා. ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකු පොලිස් භාරයට ගත් අතර, රුපියල් දෙදහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 20 ක් සමඟ අත්අඩංගුවට ගත් සිද්ධියේ, තෙවැනි සැකකරු වන අනුර සේනාරත්න නැමැත්තා ඊයේ (29) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පළමු සැකකරු වන දිමුතු රුවන් කුමාර සහ දෙවන සැකකරු වන ඇලන් ප්‍රේම් ප්‍රදීප් පලිගමුණි පෙරේදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ද මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

 

කෙසේ වෙතත්, තවදුරටත් මෙවැනි රුපියල් දෙදහසේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 30 බදාදා- පස්වරු 12:48

------------------------------------------------------

රුපියල් දෙදහසේ තවත් හොර නෝට්ටු එළියට.

මාලඹේ - පොතුඅරාව ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා රුපියල් දෙදහසේ ව්‍යාජ මුදල් නෝට්ටු සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් තුන්දෙනාගෙන් දෙදෙනෙකු ලබන මස 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් ඊයේ (28) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදියි. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ දෙවන සැකකරු වන ඇලන් ප්‍රේම් ප්‍රදීප් පලිගමුණි නැමැත්තායි. තුන්වන සැකකරු වන අනුර සේනාරත්න නැමැත්තා භාරයේ තිබී රුපියල් දෙදහසේ තවත් ව්‍යාජ මුදල් නෝට්ටු 20ක් ඊයේ පොලීසිය විසින් සොයා ගත්තා. එම සැකකරු අද (29) අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, මොහුට ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදී ඇත්තේ ප්‍රධාන සැකකරු වන දිමුතු රුවන් කුමාර නැමැත්තා බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

 

පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර, ප්‍රධාන සැකකරු ගණිත ගුරුවරයෙකු බවට කරුණු හෙළි වුණා. මොහු මීට පෙර අවස්ථා 3කදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ චෝදනා මත පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අයෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 
කෙසේ වෙතත්, ව්‍යාජ මුදල් නෝට්ටුවක් ගනුදෙනු සඳහා භාවිතා කිරීම මෙන්ම ළඟ තබා ගැනීම වසර 20ක සිර දඬුවම් විදිය හැකි වරදක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ.

පෙර පුවත 2013 ඔක්තෝබර් 29 අඟහරුවාදා- පස්වරු 12:57

---------------------------------------------

ලක්ෂ 70 හොර නෝට්ටු වංචාවේ ප්‍රධාන සැකකරුට හිර ගෙදර පුරුදුයි.

මාලඹේ - පොතුඅරාව ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා රුපියල් දෙදහසේ ව්‍යාජ මුදල් නෝට්ටු සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසුවේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) සිදුකළ වැටලීමකදී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සොයා ගත් අතර, ඒවා මුද්‍රණය කිරීම සඳහා උපයෝගී කර ගන්නා ලද පරිගණක සහ මුද්‍රණ යන්ත්‍ර ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
 
මෙහි ප්‍රධාන සැකකරු ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ චෝදනා මත මීට පෙර අවස්ථා 4කදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගණිත ගුරුවරයෙකු වන 32 හැවිරිදි සැකකරු අවසන්වරට අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. එහෙත්, ඇප ලබා නැවත පැමිණිමෙන් පසු ඔහු මෙම ජාවාරම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ පොලිස් මූලස්ථානයේ අද (28) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. එමෙන්ම මෙම සැකකරු ඇප පනතට අදාළව ඔහුට ඇප ලබා නොදීමට පියවර ගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක් අපේක්ෂා කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී කියා සිටියා. මෙම ව්‍යාජ මුදල් නෝට්ටු අතර රුපියල් 2000 නෝට්ටු 10ක්වත් දිනකට හුවමාරු වී ඇති බව වාර්තා වන බවත්, මෙම සෑම මුදල් නෝට්ටුවකම පී. 67799159 යන අනුක්‍රමික අංකය සටහන් වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. මේ පිළිබද තොරතුරු ඇතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටියා.

පෙර පුවත 2013 ඔක්තෝබර් 28 සඳුදා- පස්වරු 06:54

--------------------------------------------------------------------------

මාලඹේ ව්‍යාජ මුදල් සිද්ධියේ සැකකරුවන් 3ක් දැලේ.

පෙර පුවත 2013 ඔක්තෝබර් 28 සඳුදා- පස්වරු 04:04

මාලඹේ - පොතුඅරාව ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා රුපියල් දෙදහසේ ව්‍යාජ මුදල් නෝට්ටු සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසුවේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) සිදුකළ වැටලීමකදී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සොයා ගත් අතර, ඒවා මුද්‍රණය කිරීම සඳහා උපයෝගී කර ගන්නා ලද පරිගණක සහ මුද්‍රණ යන්ත්‍ර ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 28 සඳුදා- පස්වරු 04:04

----------------------------------------------------------------

ලක්ෂ 70 ක හොර නෝට්ටු මාලඹෙන් අල්ලයි.

පෙර පුවත 2013 ඔක්තෝබර් 28 සඳුදා- පස්වරු 12:59

රුපියල් ලක්ෂ 70 ක වටිනාකමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් මාළඹේ ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. ලැබුණු තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (27) මෙම මුදල් තොගය සොයාගෙන  ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සොයාගත් මුදල් නෝට්ටු සියල්ලම රුපියල් 2 000 ව්‍යාජ නෝට්ටු බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා. මෙම එක් නෝට්ටුවක අනුක්‍රමික අංකයක් වන්නේ P 677 99 159. මෙම අංකය සහිත 2000 මුදල් නෝට්ටුවක් හමුවුවහොත් එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් විය හැකි බැවින් ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.