මන්මෝහන් කොළඹ ගමන ගැන කියන කතා.

Friday, 01 November 2013 - 7:43

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F.
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංගේ සහභාගිත්වය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අදහස් පළ වෙමින් පවතිනවා. ඉන්දීය නාවික අමාත්‍ය ජී.කේ.වාසන් ඊයේ කියා සිටියේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා තමන් සමඟ සාකච්ඡා කළ බවයි. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඒ සඳහා තමිල්නාඩු ජනතාවගේ හැඟීම් සහ එම ප්‍රාන්ත සභාවේ තීරණය ද සැලකිල්ලට ගන්නා බවයි. කෙසේ වෙතත්, සිය සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කඩිනමින් ප්‍රකාශයක් කරනු ඇති බව නාවික අමාත්‍ය ජී.කේ.වාසන් වැඩිදුරටත් එරට මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කර තිබෙනවා.

 

මේ අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක මොහොමඞ් අක්බර්දීන් ප්‍රකාශ කරන්නේ ජාතික අවශ්‍යතා, විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සහ ජාත්‍යන්තර වගකීම් සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තීරණය වනු ඇති බවයි. මීට අමතරව, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත කළ ආරාධනාව සැලකිල්ලට ගන්නා බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. පසුගියදා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් ආරාධනා කර සිටියේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන ලෙසත් ඊට සමගාමීව උතුරු ප්‍රදේශයේ ද සංචාරය කරන ලෙසයි.

 ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් ද සිය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඊයේ අදහස් දක්වා සිටියා. ඒ  ඕස්ට්‍රේලියානු විදේහ අමාත්‍ය ජූලියා බිෂොප් සමඟ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින්. එහිදී සල්මන් කුර්ෂිඞ් පෙන්වා දුන්නේ තමන් ශ්‍රී ලංකාවේ සංචාරය අනිවාර්යයෙන්ම සිදුකරන අතර, සිය අග්‍රාමාත්‍යවරයා ද ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇති බවයි. මේ අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන් කැනඩාව ගෙන ඇති තීරණය  ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අනුගමනය නොකරන බව මෙම මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ ඔස්ට්‍රේලියානු විදේශ ඇමති ජූලියා බිෂොප් සඳහන් කළා. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් බැදී සිටින බව ද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.