මන්මෝහන්, විග්නේෂ්වරන්ගේ ලිපියක් සලකා බලයි.

Friday, 01 November 2013 - 13:06

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා. එන්.ඞී.ටී.වී රූපවාහිනි සේවාව ප්‍රකාශ කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සහ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සමුළුවට සහභාගි වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි. එමෙන්ම, අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං, සිය ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ අවසන් තීරණය ගැනීමේදී උතුරු පළාත් මහඇමති සී.වී.විග්නේෂ්වරන් කළ ඉල්ලීම ද සලකා බලන බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ. උතුරු පළාත් මහඇමතිවරයාගේ ලිපිය තමන්ට ලැබුණු බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය තහවුරු කළා. කෙසේ නමුත්, පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගි වන ලෙස තමන් සිය ලිපිය මගින් ඉල්ලා නොසිටි බව මහඇමති විග්නේෂ්වරන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. එහෙත්, යාපනයේ සංචාරයක නිරත වන ලෙස ඔහු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කර තිබෙනවා.

 

මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවට සහභාගි වීමේ ලකුණු පහලවීමත් සමඟ තමිල්නාඩුවේ විරෝධය උත්සන්න වී ඇති බව සඳහන්. තමිල්නාඩු ඞී.එම්.කේ පක්ෂ නායක කරුණානිධි ප්‍රකාශ කළේ පළවන මාධ්‍ය වාර්තා අනුව අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ශ්‍රී ලංකා සමුළුව සඳහා සහභාගිවීමට තීරණය කර ඇති බවක් පෙනී යන බවයි. එසේ වුවහොත්, එහි ප්‍රතිවිපාකවලට කොංග්‍රස් පක්ෂයට මුහුණදීමට සිදුවනු ඇති බවට කරුණානිධි අනතුරු ඇඟවීමක් ද කළා.

 

තමිල්නාඩුවේ දෙමළ ජාතිකවාදී දේශපාලඥයින් වන ඞී.එම්.ඞී.කේ පක්ෂ නායක විජයඛාන්ත් සහ පාඨලී මක්කල් පක්ෂ නායක රාම්දාස් ද සමුළුව සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සහභාගිත්වයට දැඩි විරෝධය පළ කර තිබෙනවා.