Update :වීඩියෝ: කරූට එජාප වෘත්තීය සමිතියකින් චෝදනා.

Monday, 04 November 2013 - 7:28

Update+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%96%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.
එක්සත් භික්ෂු පෙරමුණ නොමඟ යවමින් කරූ ජයසූරිය මන්ත්‍රීවරයා විශාල පාවාදීමක් සිදුකර ඇති බව ජාතික සේවක සංගමයේ උප සංවිධායක ආනන්ද පාලිත පවසනවා. කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති ධුරය ලබා ගනිමින් කරූ ජයසූරිය මන්ත්‍රීවරයා මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි.

 

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය පත් කිරීමට යෝජනා ඉදිරිපත් කළ එක්සත් භික්ෂු පෙරමුණේ අනුශාසක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් කියා සිටියේ නායකත්ව මණ්ඩලයේ සභාපති ලෙස කරූ ජයසූරිය මන්ත්‍රීවරයාගේ පත්වීම අනුමත කරන බවයි.

 

මේ අතර, කොළඹ ඊයේ (05) පැවති එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල මංගල මාධ්‍ය හමුවේදී එහි සභාපති කරූ ජයසූරිය කියා සිටියේ කිහිප දෙනෙකු තමන් පාවාදීමක් සිදුකර ඇති බවට කරනු ලබන ප්‍රකාශ ඔවුන්ගේ පෞද්ගලික මතයක් බවයි.


Update : Wednesday, 06 November 2013 - 12:46 PM
---------------------------------------------

කරූගෙන් පක්ෂය හැරගිය අයට ආරාධනා.

විවිධ හේතු මත එක්සත් ජාතික පක්ෂය හැරගිය පිරිස්වලට යළි පක්ෂය සමග එක්වන ලෙස එහි නායකත්ව මණ්ඩල සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය ඉල්ලීමක් කළා. ඒ, එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ පළමු මාධ්‍ය හමුවට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (05) එක්වෙමින්.

කෙසේ වෙතත්, මෙම නායකත්ව මණ්ඩලයට එක්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ඊයේ (04) දිනයේම ප්‍රතික්ෂේප කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරලද පැවසුවේ අපැහැදිලිතා හේතුවෙන් තමාද ඊට එක්නොවන බවයි. අද (05) පැවති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ කරූ ජයසූරිය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ අවසන් මොහොතේ ගෙන එන යෝජනා අවධානයට ගැනීමට නොහැකි වන බවයි. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා දැනුවත් කළ බව කරූ ජයසූරිය මන්ත්‍රීවරයා කියා සිටියා.

මේ අතර, මාධ්‍ය හමුවට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක සඳහන් කළේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයන් ඒකරාශි කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව එක්සත් භික්ෂු පෙරමුණ යළි සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.



Update : Tuesday, 05 November 2013 - 7:01 PM
----------------------------------------------------------------------
එජාප නායකත්ව මණ්ඩලයේ බලතල.

එක්සත් ජාතික පක්ෂයේ නව එක්සත් නායකත්ව මණ්ඩලය වෙත බලතල සහ වගකීම් 19ක් පැවරීමට ඊයේ (04) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබෙනවා. එම වගකීම් සහ බලතල වන්නේ මේවායි.

 

01. පක්ෂයේ සියලූ තරාතිරම සඳහා ප්‍රතිපත්ති සහ ජාතික උපාය මාර්ග සකස් කිරීම.

 

02. සාමාජිකත්වය වර්ධනය කිරීම සඳහා බඳවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන් සකස් කිරීම.

 

03. පක්ෂ නායකතුමා විමසා කොට්ඨාස සංවිධායකවරුන් පත් කිරීම.

 

04. පක්ෂ සාමාජිකයින් අරභයා ලබාදිය යුතු විධාන සහ නියෝග නිකුත් කිරීම.

 

05. එම විධාන පිළිනොපදින අවස්ථාවන් හිදී පරිපාලන හා විනය ක්‍රියාමාර්ග ගැනීම.

 

06. පක්ෂ නායකතුමා විමසා නාමයෝජනා මණ්ඩලය පත් කිරීම, නාමයෝජනා ලබාදීමේදී අනුගමනය කළ යුතු නිර්ණායක සකස් කිරීම.

 

07. නාමයෝජනා ලබාදීමේදී පැන නඟින මතභේද විසඳාලීමට මැදිහත් වීම.

 

08. පක්ෂ නිලධාරීන්ගේ හා සංවිධායකවරුන්ගේ කාර්ය සාධනය අධීක්ෂණය කිරීම.

 

09. පක්ෂ නිලධාරීන්ට හා සංවිධායකවරුන්ට අත්පත් කරගත යුතු ඉලක්ක හා කාල වකවානු ලබාදීම.

 

10. මණ්ඩලයේ අවශ්‍යතාව පරිදි  ඕනෑම විටෙක පක්ෂ නිලධාරීන් කැඳවීමට හා ක්‍රියාකාරකම් පිළිබඳ ස්වාධීන ඇගයීම් වාර්තා හෝ අදහස් ඉල්ලා සිටීමට ඇති බලය.

 

11. පක්ෂ නිලධාරීන්ගේ හා සංවිධායකවරුන්ගේ කාර්ය සාධනය ඉහළ නැංවීමට හෝ දුර්වල අවස්ථාවලදී විකල්ප පියවර ගැනීමට ඇති බලය.

 

12. පක්ෂයේ වෘත්තීය සමිති සංවිධාන හා අනුබද්ධ සංවිධාන වැඩි දියුණු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට ඇති බලය.

 

13. සන්නිවේදන හා ප්‍රචාරක වැඩසටහන් සඳහා යෝජනා ඉදිරිපත් කිරීම, ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය.

 

14. බිම් මට්ටමේ සංවිධාන මෙහෙයවීම හා එම සංවිධාන ශක්තිමත් කිරීමට අවශ්‍ය සැලසුම්, කාලසටහන් ලබාදීම, ඉලක්ක, ලබාදීම හා අධීක්ෂණය.

 

15.  ඕනෑම මැතිවරණ තරගයක් මෙහෙයවීම සඳහා කවුන්සිලයේ සාමාජිකයෙකු හෝ කිහිප දෙනෙකු පත් කිරීම.

 

16. මැතිවරණයකට තරග කිරීම සඳහා අවශ්‍ය අනුමණ්ඩල, පක්ෂයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය යැයි හැඟෙන හදිසි මණ්ඩල හෝ අනු මණ්ඩල, පරිපාලන කටයුතු කාර්යක්ෂම කරගෙන යාම සඳහා අවශ්‍ය යැයි හැඟෙන වෙනත් පත්වීම් සිදුකිරීම.

 

17. මැතිවරණ රැස්වීම් අමතා කතා කිරීමේදී කථිකයන්ට අවශ්‍ය නියෝග හෝ විධාන ලබාදීම.

 

18. කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගන්නා ලද අනෙකුත් තීරණ හා තීන්දු ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය නියෝග, විධාන නිකුත් කිරීම හා ඒ පිළිබඳ අධීක්ෂණය.

 

19. මණ්ඩලයේ නිගමන, යෝජනා, කෘත්‍යාධිකාරී මණ්ඩලයට වාරානුකූලව ඉදිරිපත් කිරීම.









Update : Tuesday, 05 November 2013 - 1:50 PM
----------------------------------------------------------------------
තලතාත් නායකත්ව මණ්ඩල සාමාජිකත්වය භාර නොගනී.

එක්සත් ජාතික පක්ෂයේ නව එක්සත් නායකත්ව මණ්ඩලය අද (05) කොළඹ දී සිය මංගල මාධ්‍ය සාකච්ඡාව කැදවා තිබුණා. එම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් නායකත්ව මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය කියා සිටියේ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළ යුතු කාලය පැමිණ ඇති බවයි. එහෙයින් විවේක කාලය අවසන් බවට සියලූ දෙනා අවබෝධ කර ගත යුතු බව කරු ජයසූරිය මන්ත්‍රීවරයා කියා සිටියා.

 

එක්සත් ජාතික පක්ෂයේ නව එක්සත් නායකත්ව මණ්ඩලයට පක්ෂයේ සියලූම තරාතිරම් සඳහා ප්‍රතිපත්ති සහ ජාතික උපාය මාර්ග සකස් කිරීම, සාමාජිකත්වය වර්ධනය කිරීම සඳහා බදවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන් සකස් කිරීම, පක්ෂයේ නායකවරයාගෙන් විමසා කොට්ඨාශ සංවිධායකවරුන් පත් කිරීම, පක්ෂයේ නායකවරයාගෙන් විමසා නාම යෝජනා මණ්ඩලය පත් කිරීම ඇතුළු බලතල සහ වගකීම් 19ක් පවරා තිබෙනවා.

 

කෙසේ වුවත්, එක්සත් ජාතික පක්ෂය පත්කළ නායකත්ව මණ්ඩලයේ සාමාජික ධුරය තමන් භාර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල පවසනවා. ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තමන් මෙම නායකත්ව මණ්ඩලය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බවයි ඇය සඳහන් කර සිටියේ. එම යෝජනා ක්‍රියාත්මක වුවහොත් තමන් මෙම ධුරය භාරගැනීමට සූදානම් බව තලතා අතුකෝරල මන්ත්‍රීවරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කර සිටියා.

 

                       
මේ අතර, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එක්සත් භික්ෂු පෙරමුණේ අනුශාසක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් අතර අද (05) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය සහ එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.

Tuesday, 05 November 2013 - 12:53 PM
------------------------------------------------------------
නායකත්ව මණ්ඩලයේ සාමාජිකත්වය භාරගන්නේ නැහැ. තලතා.

එක්සත් ජාතික පක්ෂය පත්කළ නායකත්ව මණ්ඩලයේ සාමාජික ධුරය තමන් භාර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල පවසනවා. ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තමන් මෙම නායකත්ව මණ්ඩලය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බවයි ඇය සඳහන් කර සිටියේ. එම යෝජනා ක්‍රියාත්මක වුවහොත් තමන් මෙම ධුරය භාරගැනීමට සූදානම් බව තලතා අතුකෝරල මන්ත්‍රීවරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කර සිටියා. කරූ ජයසූරියගේ සභාපතිත්වයෙන් ඊයේ පත් කළ මෙම නායකත්ව මණ්ඩලයට සාමාජිකයින් 9 දෙනෙකු ඇතුළත්වන අතර එහි සාමාජිකයෙකු ලෙස නම් කළ සජිත් ප්‍රේමදාස ඉන් ඉල්ලා අස්වන බවට ඊයේ ප්‍රකාශ කළා.

Tuesday, 05 November 2013 - 11:13
-------------------------------------------------------------------

මා සමඟ අමනාප වූ අයත් යළි පක්ෂයට එන්න. - රනිල්.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය, ඊයේ (04) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පත් කරනු ලැබුවා. කරු ජයසූරියගේ සභාපතීත්වයෙන් යුතු නායකත්ව මණ්ඩලයට තිස්ස අත්තනායක, මංගල සමරවීර, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, රුවන් විජේවර්ධන, තලතා අතුකෝරාළ, ලක්ෂ්මන් කිරිඇල්ල සහ කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන් නම් කර තිබෙනවා. මීට අමතරව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායකයා ලෙස නම් කිරීමට ද ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළා.

 

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නායකත්ව මණ්ඩලයේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සඳහන් කළේ පක්ෂ ඉතිහාසයේ පළමු වතාවට නායකයාට පැවරී ඇති බලතල මණ්ඩලයකට පැවරෙන බවයි. එහි සභාපති ධුරය පක්ෂයේ සියලූ පාර්ශව එක් කළ හැකි කරු ජයසූරිය වෙත ලබාදුන් බවයි විපක්ෂ නායකවරයා සදහන් කළේ. එමෙන්ම එම මණ්ඩලය වෙත සම්පූර්ණ සහාය ලබාදෙන ලෙස ද විපක්ෂ නායකවරයා එහිදී ඉල්ලා සිටියා.   

 

මේ අතර, කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස කියා සිටියේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ නායකත්ව මණ්ඩලය පත් කිරීමේ දී සිදුවූ අඩුපාඩුකම් හේතුවෙන් ඉන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි. මහා සංඝරත්නය විසින් යෝජනා කළ පරිදි නායකත්ව මණ්ඩලය පත්නොවීම මෙම ඉල්ලා අස්වීමට හේතුව බව ඔහු එහිදී කියා සිටියා. විශේෂයෙන්ම පක්ෂ නායකයා වෙනුවට නායකත්ව මණ්ඩලය යන වචනය පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමටත් කෘත්‍යාධිකාර මණ්ඩලයේ මුලසුන නායකත්ව මණ්ඩලයේ සභාපතිවරයා වෙත පැවරීමටත් මහාසංඝරත්නය කළ යෝජනාවට මෙහිදී නිසි තැන නොලැබුණු බවයි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

 
කෙසේ වුවත්, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ පක්ෂයේ ජයග්‍රහණය සඳහා පක්ෂයෙන් ඉවත්ව සිටින සියලූ පුද්ගලයින්ට යළිත් පක්ෂය සමග එක්වීමට තමන් ආරාධනා කරන බවයි. විශේෂයෙන්ම හේතුවක් ඇතිව හෝ නැතිව පක්ෂයෙන් ඉවත් වූ අයටත් පිටස්තර බලපෑම් ඇතිව හෝ නැතුව ඉවත් වූ අයටත් පෞද්ගලික තමා හා අමනාප වී පක්ෂයෙන් ඉවත් වූ අයටත් යළි පක්ෂය සමඟ එක්වන ලෙස ආරාධනා කරන බව විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියා.



Tuesday, 05 November 2013 - 7:41 AM

--------------------------------------------------------------------
එජාප ඉහළ පෙළේ මණ්ඩලය පත් කෙරේ. - රනිල් ජාතික නායක.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය අද (04)පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පත් කරනු ලැබුවා. කරු ජයසූරියගේ සභාපතීත්වයෙන් යුතු නායකත්ව මණ්ඩලයට තිස්ස අත්තනායක, මංගල සමරවීර, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, රුවන් විජේවර්ධන, තලතා අතුකෝරාළ, ලක්ෂ්මන් කිරිඇල්ල සහ කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන් නම් කර තිබෙනවා. මීට අමතරව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායකයා ලෙස නම් කිරීමට ද අද පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළා.  



Monday, 04 November 2013 - 8:44 PM
----------------------------------------------------------------------------------

එජාප කෘත්‍යාධිකාරය රැස්වේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස අතර පැවැති සාකච්ඡා පිළිබඳ අවසන් තීරණයකට එළඹීමේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (04) පස්වරු 4.30ට පමණ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම ආරම්භ වූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ. අද (04) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ ඇති කිරීමට යෝජිත ඉහළ පෙළේ මණ්ඩලය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති. එම මණ්ඩලය සදහා සාමාජිකයන් නම් කිරීම ද අද දිනයේ සිදුවනු ඇති බව සදහන්. මේ වන විට එම මණ්ඩලය සඳහා තිස්ස අත්තනායක, සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, තලතා අතුකෝරාළ, ලක්ෂ්මන් කිරිඇල්ල, විජේදාස රාජපක්ෂ, අස්මි තාසිම් යන අය යෝජනා වී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.

 
මීට අමතරව අද උදෑසන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය යන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමේදී ගනු ලැබූ තීරණ කිහිපයක් ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා. එහිදී නව ඉහළ පෙළේ මණ්ඩලය පිහිටුවා භික්ෂු පෙරමුණ ඉදිරිපත් කළ සංශෝධවලට අනුව පක්ෂයේ ඉදිරි කටයුතු සිදුනොවන්නේ නම් වර්තමානයේ පවතින ක්‍රමවේදයන්ට අනුව කටයුතු කිරීමට තමන් එකඟ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇති බව සඳහන්. 



Monday, 04 November 2013 - 7:19 PM
----------------------------------------------------------------------------------

රනිල්, කරූ, සජිත් සාකච්ඡා නිමයි. අවසන් තීරණය අද සවස.

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මඟකට යොමු කිරීම සඳහා යෝජිත නව යාන්ත්‍රණය පිළිබඳ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පෙවරුවේ පැවැත්වුණා. විපක්ෂ නායක කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මෙම තුන්වන සාකච්ඡා වටය විනාඩි 40 ක් පමණ පැවති බව සඳහන්. විපක්ෂ නායකවරයා පසුගිය සති කිහිපය පුරා මේ සම්බන්ධයෙන් මහා සංඝ රත්නය සමගද පක්ෂයේ ප්‍රධාන සාමාජික සාමාජිකාවන් ඇතුලූ තවත් පාර්ශවයන් ගණනාවක් සමගම සාකච්ඡා පැවති බවයි එක්සත් ජාතික පක්ෂය අද නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ. මෙම සියලූ සාකච්ඡාවන්හි සැළකිල්ලට ගනු ලැබූ කරුණු හා එකඟතාවයන් පිළිබඳ සවිස්තර තොරතුරු අද පස්වරුවේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර අවසන් තීරණයකට එළඹීමට නියමිතයි.

Monday, 04 November 2013 - 12:43 PM
----------------------------------------------------------------------------------
රනිල්, කරූ, සජිත් යළි තීරණාත්මක සාකච්ඡාවක.

Monday, 04 November 2013 - 7:28 AM

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මඟකට යොමු කිරීම සඳහා යෝජිත නව යාන්ත්‍රණය කෘත්‍යාධිකාරී  මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර පැවැත්වෙන අවසන් සාකච්ඡාව අද පෙරවරුවේ දී පැවැත්වීමට නියමිතයි. මෙම සාකච්ඡා සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස සහභාගි වනවා. මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඔවුන් අතර සාකච්ඡා වටයන් කිහිපයක් පැවැත්වුණා.

 
අද පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේ ප්‍රතිඵල පස්වරුවේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා කියා සිටියා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ අනුව වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ මතුව ඇති අර්බුදයට විසදුමක් එමගින් අපේක්ෂා කරන බවයි.